Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් සභාපති තනතුරට නම් 4 ක්

ක්‍රිකට් සභාපති තනතුරට නම් 4 ක්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව තරග වැදීම සඳහා ජයන්ත ධර්මදාස, නිශාන්ත රණතුංග සහ මොහාන් ද සිල්වා යන මහත්වරු ඉදිරිපත්වී සිටින බව ක්‍රිකට් නිලවරණ කමිටුව නිවේදනය කරයි. සභාපති තනතුර සඳහා නම් හතරක් ඉදිරිපත් වී තිබුණද තරගය ඇත්තේ පාර්ශ්ව තුනක් අතර බවත් ඇතැම් විට එක පාර්ශ්වයක් අවසන් මොහොතේදී තරගයෙන් ඉවත් වුවහොත් සභාපති තනතුර සඳහා දෙපිලක් අතර සටනක් ඇතිවිය හැකි බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා පැවැති පුවත් පත් සාකච්ඡාවකදී තිලංග සුමතිපාල මහතා කියා සිටියේ නිලවරණයේදී තමන්ට පහසු ජයක් ලබාගත හැකි බවයි.

නිශාන්ත රණතුංග මහතා 2012 වසරේ සිට 2015 වසරේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  ලේකම්වරයා ලෙස ප්‍රධාන කාර්ය භාර්යයක් ඉටු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ ජයන්ත ධර්මදාස මහතා, අවසන් වරට සිය දිර්ඝ කාලීන ප්‍රතිවාදියා වන සුමතිපාල මහතා සමග එක්ව උප සභාපතිවරයකු ලෙසද කටයුතු කළේය. එහිදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජාත්‍යන්තර කටයුතු බාර උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ධර්මදාස මහතා ඉකුත් වසරේදී (2017) එම තනතුරෙන් ඉල්ලා අස්විය.

මොහන් ද සිල්වා මහතා නාමයෝජනා බාරදී ඇත්තේ යම් හෙයකින් සුමතිපාල මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වුවහොත් ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් සභාපති ධූරය සඳහා තරග වැදීමටය. මොහන් ද සිල්වා මහතා මේ වන විට සුමතිපාල මහතා යටතේ උප සභාපතිවරයකු ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේශීය කටයුතු බාරව කටයුතු කරයි.

සභාපති ධූරයට අමතරව උප සභාපති ධූරය සඳහාද මොහන් ද සිල්වා මහතා නාම යෝජනා බාරදී තිබේ. වත්මන් උප සභාපති කේ. මතිවානන්, භාණ්ඩාගාරික ශම්මි සිල්වා සහ හිරන්ත පෙරේරා යන මහත්වරු උප සභාපති ධූරය සඳහා නාම යෝජනා බාරදී ඇති සෙසු අපේක්ෂකයෝ වෙති.

ඔවුන් අතරින් මොහන් ද සිල්වා, ශම්මි සිල්වා සහ හිරන්ත පෙරේරා යන මහත්වරු ලේකම් ධුරය සඳහාද නාම යෝජනා බාරදී ඇති අතර නිශාන්ත රණතුංග සහ බන්දුල දිසානායක යන මහත්වරුද එම ධූරය සඳහා ඔවුන් සමග තරග වැදීමට නියමිතය.

බන්දුල දිසානායක, සමන්ත දොඩන්වෙල සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු උප ලේකම් ධුරය වෙනුවෙන්ද, බන්දුල දිසානායක, ශම්මි සිල්වා සහ ඊස්ට්මන් නාරංගොඩ යන මහත්වරු භාණ්ඩාගාරික ධූරය වෙනුවෙන්ද තරග වැදීමට නියමිතය.

ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිත අතර එහිදී සභාපතිවරයා, උප සභාපතිවරු දෙදෙනෙක්, ලේකම්වරයෙක්, උප ලේකම්වරයෙක්, භාණ්ඩාගාරික වරයෙක් සහ උප සභාපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිතය.

නිලවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ට එරෙහිව විරෝධතා භාරගැනීම මේ මස 22 වැනිදා පස්වරු 3.00 ට අවසන් වන අතර එම විරෝධතාවන්ට පිළිතුරු බැඳීම සඳහා අපේක්ෂකයන්ට 25 වැනිදා පස්වරු 3.00 දක්වා කල් හිමිවේ. පිළිතුරු බැඳීම දිවුරුම් ප්‍රකාශයකින් කළ යුතුය.

ඉදිරිපත්වන විරෝධතා සම්බන්ධයෙන් 28 වැනිදා පෙරවරු 9.00 ට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පරික්ෂණ පැවත්වෙන අතර ඒ සඳහා කිසිදු නීතිඥවරයකුට හෝ සහායක කණ්ඩායම් වලට සහභාගි වීමට අවසර නැත. පරීක්ෂණවල ප්‍රතිඵල 30 වැනිදා ප්‍රකාශයට පත්කෙරේ.

 


අදහස් (0)

ක්‍රිකට් සභාපති තනතුරට නම් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.