Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේදී මුහුණ දී තිබෙන බරපතළ අර්බුදය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඊයේ (4 වැනිදා) ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා හමුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරු ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යයි අවධාරණය කර කියා සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමටත් ව්‍යවස්ථාව වෙනස්කර නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහාත් තාවකාලික කමිටුවක් පත්කරන ලෙස ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරු මෙන්ම අතුරු කමිටු සභාපතිවරු පසුගිය සතියේදී ක්‍රීඩා ඇමතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියහ. ඔව්හු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ සවස ක්‍රීඩා ඇමතිවරයා හමුවූහ.
හෝරාවකට ආසන්න කාලයක් පැවැති මෙම හමුවේදී සියලු දෙනාගේම ඒකමතික ඉල්ලීම වී ඇත්තේ දැනට පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් මිස අතුරු කමිටු පත්කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවන බවයි. කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් නිසි පරිදි කෙටුම්පත් කිරීම සඳහා විශ්වාසය තැබිය හැකි පිරිසකගෙන් සමන්විත තාවකාලික කමිටුවක් පත් කරන ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභපතිවරුන්ගේ සහ අතුරු කමිටුවල හිටපු සභාපතිවරුන්ගේ ඉල්ලීම වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය විසඳීමට මැදිහත් වන්නයි ඉල්ලා සිටි හිටපු සභාපතිවරුන් ඇමතිවරයා හමුවේ වැඩිදුරටත් කියා ඇත්තේ තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු අවශ්‍ය නැති බවත් තත්ත්වය ඉතාමත් භයංකාර අඩියකට පත්ව ඇති හෙයින් ක්‍රිකට් ක්‍රීඩාව එයින් මුදවා ඉවතව යන බවත්ය.
මේ අතර ක්‍රීඩා ඇමතිවරයාගේ අදහස වී ඇත්තේ හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා විසින් පත්කරන ලද ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයන් වූ අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වැනි හිටපු ක්‍රීඩකයන් මුණගැසීම බවත් දැනගන්නට ඇත. මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් වැනි හිටපු ක්‍රීඩකයන්ගේ අදහස් සම්බන්ධයෙන්ද ක්‍රීඩා ඇමතිවරයා උනන්දුවෙන් සිටින බව දැනගන්නට තිබේ.
ඇමතිවරයා හමුවෙන් පසුව මාධ්‍ය නියෝජිතයන් ඇමතූ ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායකා මෙන්ම ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයකුද වූ අර්ජුන රණතුංග මහතා කියා සිටියේ මෙතෙක් කලක් තමන්ගේ විශ්වාසය බිඳී තිබුණ බවත් ක්‍රීඩා ඇමතිවරයා හමුවීමට ඊයේ ආවේ විශ්වාසයක් ඇතිව බවත්ය.
“අපේ හුඟාක් කට්ටිය (හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්) ක්‍රිකට් වලින් එලියට වෙලා ඉන්නේ අනවශ්‍ය පුද්ගලයන් එක්ක අපිට ක්‍රිකට් පරිපාලනයට එන්න කැමති නැති නිසා. මේ සියලු දෙනාම ඒ තත්ත්වයේ ඉන්නවා. අපි ඒ ගැන ක්‍රීඩා ඇමතිවරයාට කිව්වා”
“අපි හැමදෙනාගේම තියෙන ඕනකම තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව දියුනු කරන්න. ක්‍රිකට් ක්‍රීඩාව තාම බිම ඇනිලා නෑ. තව ඇනෙන්න යනවා. ඒක නවත්වන්න ඕන හින්ද තමයි අපි සියලු දෙනාම තීරණයක් ගත්තේ ඇමතිතුමත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරල එතුමාව දැනුවත් කරල ඒ අවශ්‍ය උපදෙස් ටික දෙන්න” යයිද අර්ජුන රණතුංග මහතා පැවසීය.
“අපිට තීරණ ගන්න බෑ. ඇමතිතුමා හරි තීරණයක් ගනීවි කියල අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියන මතයේ අපි හැමදාම ඉන්නවා. ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නැත්නම් මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න බෑ”
“අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇවිල්ලා සභාපති හැටියට ඉල්ලුවත්, මහින්ද රාජපක්ෂ මහතා ඇවිල්ලා ඉල්ලුවත් , රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඇවිල්ලා ඉල්ලුවත් දැන් ඉන්න පුද්ගලයොත් එක්ක මේ ක්‍රිකට් නිලවරණය දිනන්න බෑ. ඒක නිසා අපි ඒවා තේරුම් කරල දුන්නා. අපි ව්‍යවස්ථාව වෙනස් කරන ගමන් ක්‍රිකට් ගැන ඉක්මන්ටම තීරණ ගත යුතු ක්‍රමවේදය ගැනත් අපි ක්‍රීඩා ඇමතිතුමාට කිව්වා” යයිද අර්ජුන රණතුංග මහතා පැවසීය.
ක්‍රීඩා ඇමතිවරයා හමුවීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වූ සිදත් වෙත්තමුණි මහතා මෙසේ පැවසීය.
“මෙතනදි අර්ජුන කිව්වා වගේ හැමෝම එකම දේ තමයි කිවුවේ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ව්‍යවස්ථාවේ ප්‍රශ්නය. මම හිතන්නේ ඒ ව්‍යවස්ථාව වෙනස් කරනකම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න හරිම අමාරුයි.” යයි පැවසූ වෙත්තමුණි මහතා
“ඡන්ද 147 ක් එක්ක වැඩ කරන්න බෑ. ඒකෙන් ඇතිවෙන අඩුපාඩු ගොඩයි. ඒක නිසා අපි කිවුවේ මේ ව්‍යවස්ථාව මාරු කරල ඉදිරියට යන්න ඕනේ කියලයි” යයිද පැවසීය.
ක්‍රීඩා ඇමතිවරයා සමග ඊයේ සවස පැවැති හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවල හිටපු සභාපතිවරුන් වූ රියෙන්සි විජේතිලක සහ විජය මලලසේකර යන මහත්වරුන් පැමිණ නැත. විජේතිලක මහතාට කලින් යොදාගත් කාර්යයක් යෙදී තිබූ බවත් මලලසේකර මහතා දිවයිනෙන් බැහැරව සිටින බවත් නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක කමිටු සාමාජිකයෝ පස්දෙනෙක්ද ක්‍රීඩා ඇමතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටිති. හිටපු සභාපති තිලංග සුමතිපාල, උපසභාපතිවරුන් වන මොහාන් ද සිල්වා සහ කේ. මතිවානන්, හිටපු ලේකම් රොෂාන් බියන්විල සහ භාණ්ඩාගාරික ශම්මි සිල්වා යන මහත්වරුන්ගේ අත්සනක් සහිත ලිපියක් ක්‍රීඩා ඇමතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ හිටපු සභාපතිවරුන් සමග සාකච්ඡාව පැවැත්වෙමින් තිබියදීමය.
පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මූල්‍යමය අතින් අතිශය සාර්ථකත්වයට පත්වූ බවත් ඡන්දයකින් තනතුරු ලබාගත නොහැකි කිහිපදෙනකු එක්වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වයට අකුල් හෙළීමේ අරමුණ ඇතිව මෙවන් අභූත චෝදනා නඟන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පැවැති විධායක කමිටු සාමාජිකයන්ගේ චෝදනාව වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.