Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කරයි

ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කරයි

editorial - 2021 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අප්‍රේල් 6 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයට තෙවැනි පාර්ශවයක (ක්‍රීඩා අමාත්‍යංශයේ) මැදිහත්වීම හෙළා දකින බවත් නිලවරණය පැවැත්වීම පාපැදි සම්මේලනයේ මහ සභාවකට පැවරිය යුතු බවත් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කරන අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ සභාපති ඩේවිඩ් ලෆාටිසන්ට් මහතා අවධාරණය කරයි.

ඒ අනුව අප්‍රේල් 6 වැනිදා පැවැති නිලවරණයෙන් පත් වූ පාපැදි සම්මේලනයේ විධායක සභාව වෙනුවට එන්. කරුණාරත්න මහතාගේ සහභාගීත්වයෙන් යුත් එතෙක් එහි කටයුතු කරමින් සිටි විධායක සභාව ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල පාපැදි පරිපාලන ඒකකය ලෙස තවදුරටත් පිළිගන්නා බවත් අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ සභාපතිවරයාගේ ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

අප්‍රේල් 6 වැනිදා පැවැති නිලවරණය අභියෝගයට ලක් කරමින් එන්. කරුණාරත්න මහතා අන්තර් ජාතික පාපැදි සම්මේලනය හා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ක්‍රීඩා ඇමැතිවරයාට ලියා තිබේ.
ශ්‍රී ලංකාවේ පර්ශ්ව වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාට ද ලිපියේ පිටපතක් ඩේව්ඩ් ලෆාටිසන්ට් මහතා යොමුකර තිබේ.

අප්‍රේල් 6 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ නිලවරණ කමිටුවක් විසින් පැවැත්වීමට කටයුතු කිරීමෙන් එහි ප්‍රතිඵලයට බලපෑමක් වූ බවට පැමිණිලි කරමින් එන්. කරුණාරත්න මහතා අන්තර් ජාතික පාපැදි සම්මේලනයට ලිපියක් යොමු කර තිබුණි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් තත්ත්වය දක්වමින් පසුගිය ජූලි 2 වැනිදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයාට ලෆාටිසන්ට් මහතා යොමු කළ ලිපියේ අවධාරණය කර ඇති කරුණු අතර පාපැදි නිලවරණයට තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීම තුළින් අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාවේ ජාතික සම්මේලන සම්බන්ධයෙන් දන්වා තිබෙන 6 වැනි වගන්තිය බිඳ වැටී ඇති බව පෙන්වා දෙයි.

පාපැදි නිලවරණය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කළ බව කියන මැදිහත්වීම් තුළින් කෙරෙන පත්වීම් අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ රෙගුලාසිවලට පටහැනි බැවින් ඒ සඳහා නීත්‍යානුකූලභාවයක් ලබාදිය නොහැකි බවත් අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ පැවති පාපැදි සම්මේලනයේ නිලවරණය හා අදහස් දක්වමින් ලිපියෙන් තවදුරටත් අවධාරණය කර ඇත.

එහි මෙසේ ද දක්වා තිබේ.

‘‘ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ උද්ගතව පවතින වත්මන් තත්ත්වය අන්තර් ජාතික ඔලිම්පික් ක්‍රීඩා ප්‍රඥප්තියට අනුව කටයුතු කරන අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ  නිගමනයට ද පටහැනිය.

මේ අතර මෙම ලිපියට ප්‍රතිචාර දක්වමින්  ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කරන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති, අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ ස්ථාවරයට ගරු කරමින් පාපැදි සම්මේලනයේ නිලවරණය එහි මහ සභාවේ මැදිහත්වීමෙන් නැවත පැවැත්වීම සඳහා නොපමාව ක්‍රීඩා ඇමැතිවරයාගේ සහයෝගය හා ආශිර්වාදය ලබා දීමට කටයුතු කළ යුතු බව පවසයි.

අප්‍රේල් මාසයේ දී ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කැඳ වූ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව, අන්තර් ජාතික පාපැදි සම්මේලනය හා දේශීය ජාතික සම්මේලනයේ ව්‍යවස්ථාවන්ට පටහැණිව පවත්වා තිබෙන බවට ඩේවිඩ් ලෆාටිසන්ට් මහතා ශ්‍රී ලංකාවට යොමු කළ ලිපියෙන් සනාථ කර ඇතැයි ද ඔහු ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කළ ලිපියේ දන්වා තිබේ.

ඒ පිළිබඳව ලංකාදීපයට එන්. කරුණාරත්න මහතා මෙසේ පැවසීය.

අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ සභාපතිවරයාගේ ලිපියෙන් මේ රටේ ක්‍රීඩා පරිපාලනයට හොඳ පණිවුඩයක් ලැබිලා තිබෙනවා. ඒ ජාතික ක්‍රීඩා සංගම් සඳහා අනිසි රාජ්‍ය මැදිහත්වීම් නොඉවසන බවයි. මේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම්වල ස්වාධීන්තවයට බලපෑම් කරන්න උත්සාහ කරන තෙවැනි පාර්ශවයන්ට ලැබුණු බලසම්පන්න අනතුරු ඇඟවීමක් ලෙසත් සැළකිය හැකිය.

මේ අතර ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ අප්‍රේල් 6 වැනිදා පැවැති පාපැදි නිලවරණයේ දී කිසිඳු ආකාරයක රාජ්‍ය මැදිහත්වීමක් නොවූ බවට කරුණු දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශය අන්තර ජාතික පාපැදී සම්මේලනයට යොමු කළ ලිපියට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

මේ අතර අප්‍රේල් 6 වැනිදාට පෙර ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පාපැදි පරිපාලනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ එන්. කරුණාරත්න මහතා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට ද පැවති නිලවරණයේ දී සිදුවී ඇතැයි කියන රාජ්‍ය මැදිහත්වීම් ගැන කරුණු දක්වමින් ලිපියක් යොමු කර තිබුණි. එම ලිපියට ප්‍රතිචාර දක්වමින් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවට ලිපියක් යොමු කර ඇතැයි ද වාර්තා වේ.

එහි දක්වා ඇත්තේ අප්‍රේල් 6 වැනිදා පැවත්වූ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයට එල්ල වූ බව කියන සියලු ආකරයේ තෙවැනි පාර්ශ්වීය බලපෑම් හෙළා දකින බවයි. ඒ පිළිබඳව අවධාරණය යොමු කර සුදුසු පියවර ගන්නා ලෙසත් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව මෙරට ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම් දී ඇතැයි ද වැඩිදුරටත් වාර්තාවේ.

 


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.