Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා අරමුදල පතුළටම සිඳීමෙන් අමාත්‍යංශය අලි අමාරුවක

ක්‍රීඩා අරමුදල පතුළටම සිඳීමෙන් අමාත්‍යංශය අලි අමාරුවක

editorial - 2023 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේත් ක්‍රීඩාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටුවා ඇති ජාතික ක්‍රීඩා අරමුදල පතුළටම සිඳී ගොස් ඇතැයි වාර්තා වේ. ක්‍රීඩා අරමුදල සිඳී යාම හේතුවෙන් පසුගියදා පැවැති අන්තර්ජාතික ක්‍රීඩා උළෙල වලදී පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන්ටත් තිළිණ කළ යුතු මුදල් ත්‍යාග පිරිනැමීමට අවශ්‍ය තරම් මුදල් නොමැතිවීම නිසා ක්‍රීඩා අමාත්‍යංශය අලි අමාරුවක වැටී තිබෙන බව අමාත්‍යංශයේ උසස් නිලධාරීහුම කියති. 

“පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේදී විතරක් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ත්‍යාග වලට රුපියල් මිලියන 48 ක් ඕනෑ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෙවන ගාණෙන් 25්‍ර ක් පුහුණුකරුවන්ට දෙන්නත් ඕනා. එතකොට සේරම එකතුව රුපියල් මිලියන 60ක්”

“මේ වෙලාවේ මේ වගේ මුදලක් ක්‍රීඩා අරමුදලේ නෑ” යයි  ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 

පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් දෙදෙනාටත් නියමිත ත්‍යාග මුදල් ගෙවා නොතිබිණ. එහෙත් මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා පිටත්ව යාමට පෙර ඔවුන් දෙදෙනාට හිමිවිය යුතු රුපියල් මිලියන 15 ක මුදල ගෙවා දැම්මේ ඉතාමත් අසීරුවෙන් බවද අමාත්‍යංශ නිලධාරියෙක් පැවසීය. 

මහේල ජයවර්ධන ජාතික ක්‍රීඩා සභාවේ කටයුතු කරන කල්හි සකස් කරන ලද වාර්තාවක් අනුව ආසියානු ක්‍රීඩා උළෙලකදී දිනාගන්නා රන් පදක්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 15 ක්, රිදී පදක්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 10 ක් සහ ලෝකඩ පදක්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 5 ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමිය යුතුය. ආසියානු පැරා ක්‍රීඩා උළෙලකදී නම් එම අගයන් රුපියල් මිලියන 9 ක්, මිලියන 5 ක් සහ මිලියන 2 ක් ලෙස වෙනස් වේ. 

ක්‍රීඩා අරමුදලේ මුදල් නොමැතිවීම හේතුවෙන් එය තරකර ගැනීමේ අභිලාෂය ඇතිව සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී මේ මස 27 සහ 29 දිනවල සංගීත සංදර්ශන දෙකක් පැවැත්වීමටත් කටයුතු යොදමින් තිබේ. මෙම සංදර්ශන දෙක අතර නිවුන් කුමරියෝ සහ නිවුන් කුමරුවෝ තෝරා ගැනීමේ තරගාවලියක් ද පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් මෙම සංදර්ශන තුනට අදාළව කෙරෙන ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විනිවිද භාවයක් නොමැති බවත්, ඇතැම් ගනුදෙණු සම්බන්ධයෙන් බරපතළ සැකයට තුඩුදෙන කාරණා පෙනෙන්නට තිබෙන බවත් සුගතදාස ක්‍රීඩා සංකීර්ණය හා සම්බන්ධ වූවෝ කියති. 

සංගීත සංදර්ශන සඳහා ප්‍රවේශපත් විකිණීම ජාතික ක්‍රීඩා සම්මේලන වලට බාර කර ඇතැත් ඇතැම් සම්මේලන වලට එම ප්‍රවේශපත් සියල්ලම විකුණා ගැනීමට නොහැකි වී තිබේ. සම්මේලන කිහිපයක් පමණක් තමන්ගේ ප්‍රවේශපත් සියල්ලම විකුණා මුදල් බාරදී අවසන් කර ඇති බවත් කියැවේ. 

වාර්තාවන පරිදි ජාතික ක්‍රීඩා අරමුදල සිඳී ගොස් ඇත්තේ විදේශීය සංචාර සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මුදල් පිරිනැමීමට යාමෙනි. ලෝකයේ අනෙක් කෙළවරේ පිහිටි රටවල පැවැති ක්‍රීඩා තරගාවලි සඳහා යාමටත් ගුවන් ප්‍රවේශපත් සඳහා මුදල් වියදම් කර ඇතත් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහි ළඟාවන විට ඉසව්වත් අවසන් වී තිබේ. තවත් සංචාර සඳහා රුපියල් මිලියන තිස් හතළිස් ගණනින් මුදල් වියදම් කර ඇතත් ඒවායේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගත් පදක්කමක් හෝ අත්කරගත් ස්ථානයක් නැති බවත් ක්‍රීඩා අමාත්‍යංශයේම නිලධාරීහු කියති.


අදහස් (0)

ක්‍රීඩා අරමුදල පතුළටම සිඳීමෙන් අමාත්‍යංශය අලි අමාරුවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.