Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා ඇමති අයි.සී.සී. යට ලියයි

ක්‍රීඩා ඇමති අයි.සී.සී. යට ලියයි

editorial - 2023 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තමන්ගෙන් හෝ රජයේ වෙනත් කිසිම පාර්ශ්වයකින් දේශපාලන බලපෑම් එල්ල වී නැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තමන් ඇතුළු රජයේ නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කරමින් ඔවුන්ගේ වැරදි වසා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නම පාවිච්චි කරන බවත් ප්‍රකාශ කරමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිඛිතව දැනුම් දී තිබේ. 

ඊයේ (27 වැනිදා) දාතමින් යුත් මෙම ලිපියට ක්‍රීඩා ඇමතිවරයා විසින්ම අත්සන් තබා ඇති අතර එම ලිපිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධානී ග්‍රෙග් බාක්ලේ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩයිස් යන මහත්වරුන් දෙදෙනාට ම යොමුකර තිබේ. 

ක්‍රීඩා ඇමතිවරයගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලි කිහිපයක් අහිමි වී යා හැකි යයි කියමින් මෑතකදී පළවූ මාධ්‍ය වාර්තාවන්ට පිළිතුරු ලෙසින් මෙම ලිපිය එවන බවත් පිටු දෙකකින් සමන්විත ලිපියේ සටහන් කර ඇත. 

“මවිසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනිකව බලපෑම් කරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කණගාටුවෙන් වුවද ඔබ වෙත දැනුම් දීමට කැමැත්තෙමි. මා මෙය දකින්නේ ඔවුන්ගේ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් ඉදිරියේදී මුහුණදීමට සිදුවිය හැකි නීතිමය මෙන්ම පරිපාලනමය තීන්දු තීරණ වලින් ගැලවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් ලෙසිනි. 

ඔවුන්ගේ මූල්‍ය අවභාවිතාවන් විගණනය පිළිබඳ ස්වාධීන අධිකාරියක් වන රජයේ විගණන කාර්යාලය විසින් මේ වන විටත් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අවංකභාවය සහ කීර්තිමත් නාමය, තමන්ගේ වැරදි වසාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් විසින් යොදාගනු ලබන බවද ඉතාමත් කණගාටුවෙන් වුවද කීමට සිදුවී තිබේ.” යයි ද ක්‍රීඩා ඇමතිවරයා විසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට යවන ලද ලිපියේ සටහන් වේ. 

මෙම ලිපිය සමගින් සැප්තැම්බර් 11 වැනිදා ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද ‘2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටී-20 ලෝක කුසලානය (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව’ ද අමුණා යවා තිබේ. මෙම විගණන වාර්තාවේ 146 වැනි පිටුවේ සිට 218 වැනි පිටුව දක්වා ඇත්තේ විගණන වාර්තාවේ ඉංග්‍රීසි පිටපතයි. 219 වැනි පිටුවේ සිට 256 වැනි පිටුව දක්වා අදාල ඇමුණුම්ය.


අදහස් (0)

ක්‍රීඩා ඇමති අයි.සී.සී. යට ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.