Last Update  :  2025-01-15 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් - ⁣හෙන්ඩ්‍රික්ස් දඹුල්ල දිනවති
එල්.පී.එල්. - 2024

කුසල් - ⁣හෙන්ඩ්‍රික්ස් දඹුල්ල දිනවති

editorial - 2024 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 10 වැනි තරගය ලෙස කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත් විය. දඹුල්ල කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පලමු  ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 186 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ක්‍රීඩකයෝ ඕවර 17.5 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. පන්දු 50 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග වේගවත් ලකුණු 80 ක් රැස්කළ කුසල් පෙරේරා දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

රීසා හෙන්ඩ්‍රික්ස් (54) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 154 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුසල් සමත් වූ අතර පන්දු 39 කදී ලබාගත් හෙන්ඩ්‍රික්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය. මාක් චැප්මන් පන්දු 10 කින් නොදැවී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහර 3 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ග්ලේන් පිලිප්ස් පන්දු 36 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 52 ක් රැස්කරමින් කොළඹ ඉනිමේ අවසන් ඕවරය දක්වාම කඩුල්ලේ රැදී සිටියේය. 

අවසන් ඕවර කිහිපයේදී පන්දු 12 කට මුහුණදුන් චාමික කරුණාරත්න හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 27 ක් රැස්කළේය. රහ්මනුල්ලා ගුර්බාස් (36) සහ ඇන්ජලෝ පෙරේරා (41) ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොළඹ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

පන්දු 28 කදී වාර්තා වූ ගුර්බාස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින්ද, පන්දු 27 කදී වාර්තා වූ ඇන්ජලෝගේ ඉනිම හයේ පහරකින් සහ හතර් පහර 6 කින්ද සමන්විත විය. දඹුල්ල කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ නායක මොහොමඩ් නබී ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත්තේය.

 

කොළඹ ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 185
(රහ්මනුල්ලා ගුර්බාස් 36, ඇන්ජලෝ පෙරේරා 41, ග්ලේන් පිලිප්ස් 52, චාමික කරුණාරත්න නොදැවී 27, මොහොමඩ් නබී 20/2) 

දඹුල්ල සික්සර්ස් පිල - ඕවර 17.5 කදී කඩුලු 2 කට 188
(කුසල් පෙරේරා 80, රීසා හෙන්ඩ්‍රික්ස් 54, මාක් චැප්මන් නොදැවී 23, ටස්කින් අහමඩ් 45/2)


අදහස් (0)

කුසල් - ⁣හෙන්ඩ්‍රික්ස් දඹුල්ල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.