Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් මෙන්ඩිස්ට තැන අහිමිවන ලකුණු

කුසල් මෙන්ඩිස්ට තැන අහිමිවන ලකුණු

editorial - 2024 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙම මස අගදී දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද මූලික සංචිතයේ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස දීර්ඝ කාලයක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්ට ස්ථානයක් හිමිව නැතැයි වාර්තා වේ. 

2016 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනාගත් මෙන්ඩිස්, පළමු වරට ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළේ 2018 වසරේදීය. එතැන් පටන් පසුගිය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය දක්වා තරග 46 කදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ඔහු එහිදී අර්ධ ශතක 14 ක් සමග ලකුණු 1395 ක් රැස්කළේ 31.70 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. 

කෙසේ වුවත් මෙම වසර තුළ පැවැති විස්සයි-20 ජාත්‍යන්තර තරගවලදී මෙන්ම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළද ආරම්භක පිතිකරුවකු ලෙස කැපී පෙනෙන යමක් කර පෙන්වීමට මෙන්ඩිස් අපොහොසත් විය. එබැවින් ඔහුට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී විවේකයක් ලබා දීමට තේරීම් කමිටුව තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.  

මෙම වසරේ ජනවාරි මාසයේ සිට නිමාවට පත්වූ ලෝක කුසලාන තරගාවලි දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩා කළ ඔහු එහිදී අර්ධ ශතක 2 ක් සමග ලබාගෙන ඇත්තේ ලකුණු 359 ක් පමණි. එහිදී ඔහුගේ සාමාන්‍ය සටහන් වන්නේ 29.91 ක් ලෙසිනි. එල්.පී.එල්. තරගාවලියේදී යාපනය කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ ඔහු තරග 8 කදී ලබාගත්තේ ලකුණු 106 ක් පමණි. 

මෙන්ඩිස්ට අමතරව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්ට, ධනංජය ද සිල්වාට සහ මැද පෙළ පිතිකරුකු වන සදීර සමරවික්‍රමට සහ ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමිවීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වන අතර ඔවුන් වෙනුවට මෙවර එල්.පී.එල්. තරගාවලියේදී දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යළි කණ්ඩායමට කැඳවීමට නියමිත බවද දැනගන්නට ඇත. 

මෙවර එල්.පී.එල්. තරගාවලියේදී මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන චන්දිමාල් තරග 8 ක් තුළ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 270 ක් රැස්කිරීමට සමත් වූයේ 33.75 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. තරගාවලියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (17 ක්) එල්ල කර ඇති ක්‍රීඩකයාද වන ඔහු, වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර ඉහළම ප්‍රහාරාත්මක වේගයක් (173.07) රඳවාගෙන සිටින පිතිකරුවාද වේ. 

මෙවර එල්.පී.එල්. තරගාවලියේ ශතක ලාභින් සිවුදෙනාගෙන් කෙනෙක් වන කුසල් පෙරේරා, තරග 7 කදී 48.16 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 289 ක් ලබා සිටියි. එහිදී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 174.09 ක අගයක් ගනී. ඊයේ (15 වැනිදා) පස්වරුව වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටි අවිෂ්ක ප්‍රනාන්දු තරග 8 කදී අර්ධ ශතක 4 ක් සමග ලකුණු 311 ක් ලබා සිටියේ 38.87 ක සාමාන්‍යයක් සහ 166.31 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි. 

මේ අතර වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංකට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ විස්සයි-20 නායකයා තේරීමේදී හිටපු නායකයන් වන දිනේෂ් චන්දිමාල්ගේ සහ දසුන් ශානකගේ නම්ද යෝජනා වී ඇති නමුත් 2026 වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් නායකත්වය අසලංකට ලබාදීමට එහිදී තේරීම් කමිටු නිලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.  


අදහස් (1)

කුසල් මෙන්ඩිස්ට තැන අහිමිවන ලකුණු
  • nalin Tuesday, 16 July 2024 06:14 AM

    චාමික කරුණාරත්න මොනවාද දක්වපු දක්ෂතා? එයා කිසිම දක්ෂතාවක් පෙන්නුවේ නෑ. එයා අන්තිම තරග දෙක කොළඹ කණ්ඩායමෙනුත් හැලුවා. ඔය චාමිකට දුන්නාට වැඩිය හොඳයි අර චමිඳු වික්‍රමසිංහ කියන පොඩි කොල්ලාට තැනක් දුන්නා නම්. එයා චාමිකට වැඩිය ලකුණුත් ගැහුවා.. බෝලත් දැම්මා...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.