Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල්ලා එක්ව කොදෙව්වන්ට නෙළති
තුන්වැනි වි-20 තරගය

කුසල්ලා එක්ව කොදෙව්වන්ට නෙළති

editorial - 2024 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට)

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන්නට පැමිණ සිටි නරඹන්නන් මහත් අමන්දානන්දයට පත්කරමින්, කොදෙව් පන්දු යවන්නන්ට රිදෙන්නම පහර දුන් කුසල් මෙන්ඩිස් (නොදැවී 68) සහ කුසල් ජනිත් පෙරේරා (නොදැවී 55) එක්ව තුන්වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 9 ක දැවැන්ත ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. මෙම ජයත් සමගින් 2-1 ක් ලෙසින් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියකින් පළමු වරට ජය අත්පත් කරගත්හ. 

ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර ද්විපාර්ශ්වික විස්සයි-20 තරගාවලි ආරම්භ වී ඇත්තේ වසර 2015 දීය. එතෙක් මෙතෙක් පැවැති ද්විපාර්ශ්වික විස්සයි-20 තරගාවලි හතරකින් තුනක් ජයගත් කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලාංකිකයන් ලබාගත් මුල්ම තරගාවලි ජයග්‍රහණය මෙයයි.

ලකුණු 163 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණ ඕවර දෙකක් ඉතිරිව තිබියදීම කඩුල්ලක් දැවී ලකුණු 166 ක් ලබාගනිමින්, තරගය පහසුවෙන් ජයගත්තේය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කින් ලකුණු 106 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් මෙන්ඩිස්ගේ ආකස්මික පිතිහරඹයත් කුසල් පෙරේරාගේ ක්‍රමානුකූල ආක්‍රමණයත් හමුවේ කොදෙව් පන්දු යවන්නෝ නිරුත්තරව ගියහ. 

සිය ලකුණු 68 වෙනුවෙන් මෙන්ඩිස් මුහුණ දුන්නේ පන්දු 50 කට පමණි. ඒවායින් 3 ක චිත්තාකර්ශනීය හයේ පහර වූ අතර තවත් පන්දු 5 ක් හතරේ සීමාව පසුකර ගියේය. පන්දු 34 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් පෙරේරාගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් කදිම ආරම්භයක් ලබා ගත් පැතුම් නිස්සංක (39) සහ කුසල් මෙන්ඩිස් පන්දු 32 කින් ලකුණු 60 ක් ශ්‍රී ලංකා පිලට එකතු කළහ. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී ගියේ ගුඩාකේෂ් මෝතිගේ පන්දුවකිනි. එහෙත් කොදෙව්වන් අද දිනයේදී ලබාගත් එකම සාර්ථකත්වය එයම විය. 
තණකොළ රහිත, දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවකදී ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථක වූයේ ඔවුන් සතුව තිබූ පිතිකරු තාක්‍ෂණයේ නිපුණතාව හේතුවෙනි. 

විස්සයි-20 ක්‍රිකට් යනු ‘පොල් අඩි කාරයන්ගේ’ ක්‍රීඩාවක් නොව, හික්මීමකින් යුතුවන නමුත් ක්‍රමානුකූල ආක්‍රමණිකයන්ගේ ක්‍රීඩාවක් බව ශ්‍රී ලාංකික පිතිකරුවෝ මෙන්ම පන්දු යවන්නෝත් මෙම තරගාවලියේදී කදිමට කියා දුන්හ. 16 වැනි ඕවරය ආරම්භයේදීම තම සීමාවෙන් ඉදිරියට පැමිණි කුසල් මෙන්ඩිස් වමත් දඟ පන්දු යවන්නා වූ ගුඩාකේෂ් මෝතිට ගැසූ අලංකාර හතරේ පහර දෙපිලේ පිතිකරුවන් අතර පැවැති වෙනස කදිමට පෙන්වා දුන්නේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් තුන්වැනි පන්දුවේදීම එවින් ලුවිස් දැවී ගියේය. එතැන් සිට කොදෙව් පිතිකරුවන් ගල ග්‍රහයෙන් අල්ලාගත් ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නෝ ඕවර 12 ක් ඇතුළත ලකුණු 62 කට කඩුලු 5 ක් බිම දමාගත්හ. එහෙත් රෝමන් පවෙල් සහ ගුඩාකේෂ් මෝති එක්වීමත් සමගින් තත්ත්වය උඩු යටිකුරු විය. 

හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කින් ලකුණු 54 ක් එක්කළ රෝමන් පවෙල් සහ ගුඩාකේෂ් මෝති එක්ව, කොදෙව් පිල ගොඩගත්හ. 10 වැනි ඕවරයත් 15 වැනි ඕවරයත් අතර ලකුණු 56 ක් එක්කළ මෙම පිතිකරුවන් දෙදෙනාගේ සටන්කාමී පිතිහරඹයෙන් දිරිමත් වූ කොදෙව් පසුපෙළ පිතිකරුවෝ ඉනිමේ අවසන් ඕවර 5 න් තවත් ලකුණු 51 ක් උදුරා ගනිමින්, සටනක් දියහැකි ලකුණු 162 ක් කරා තම පිල කැඳවාගෙන ගියහ. 

ඉනිමේ දෙවැනි කොටසේ ඕවර 10 ඇතුළත කොදෙව්වන්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 7-6-10-8-25-7-5-12-12-15 ලෙසිනි. මෙම ඕවර අතරේ වේග පන්දු යවන්නන් වූ නුවන් තුෂාර සහ මතීෂ පතිරණ දෙදෙනා යැවූ ඕවර 3 කින් කොදෙව්වෝ ලකුණු 30 ක් ලබාගත් අතර මහීෂ් තීක්‍ෂණට ඕවරයක් ඉතිරි වී තිබිණ. 

දුනිත් වෙල්ලාලගේ යැවූ අවසන් ඕවරයේදී පිට පිටම ගැසූ හයේ පහර 3 ක් ද සමගින් කොදෙව්වෝ ලකුණු 25 ක් උදුරා ගත්හ. පවෙල්, මෝති සහ රොමාරියෝ ෂෙපර්ඩ් එක්ව මුහුණ දුන් පන්දු 55 කින් ඔව්හු ලකුණු 87 ක් ලබාගත්හ. 

ඡායාරූපය  - ජයමාල් චන්ද්‍රසිරි

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

කුසල්ලා එක්ව කොදෙව්වන්ට නෙළති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.