Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසලානය ගෙදරටම ගෙනත්දී මරීජා සමුගනී

කුසලානය ගෙදරටම ගෙනත්දී මරීජා සමුගනී

ශනුක අරවින්ද - 2018 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනූ අති විශිෂ්ට රග්බි ක්‍රීඩකයෙක් විශ්‍රාම ගත්තේ සිය කණ්ඩායම කුෂලානය කරා කැඳවාගෙන යාමේ ස්වර්ණමය මතක සටහනකිනි. අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සමාප්තිය එසේ වර්ණවත් කළ ෆාසිල් මරිජාගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය නිසා හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 30-28 ක ජයක් වාර්තා කළ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ සිය අපරාජිතභාවය රැක ගනිමින්ම කුසලානය අතට ගත්තේය.

මහනුවර පිල මේ අත්පත් කරගත්තේ ඔවුන්ගේ 19 වැනි රග්බි ලීග් කිරුළයි.

වසර ගණනාවක් පුරා මහනුවර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණ රැසකට උරදුන් විශිෂ්ට ෆ්ලයි හාෆ් ක්‍රීඩකයාගේ අවසන් ලීග් තරගය නැරැඹීමට කල්තියාම පැමිණ සිටි ක්‍රීඩාලෝලීන් අමන්දාන්දයට පත් කළ මරිජා සිය නිවහන බඳු නිත්තවෙල පිටියේ අණසක පතුරාවාලමින් හැව්ලොක්ස් පිලේ පරාජය තහවුරු කළේය.

දැනට සති කිහිපයක සිටම මෙවර ලීග් රග්බි කිරුළට හිමිකම් කියමින් සිටි මහනුවර පිල අද තරග වැදුණේ සිය අපරාජිතභාවය රැක ගැනීම උදෙසාය. එවැනි අනභිබවනීත්වයක් පෙන්නුම් කිරීම එතරම් පහසු නැත. එහෙත් ඒ සියල්ල මැඩ පවත්වමින් සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට අමරණීය සමුගැනීමක් ලබාදීමට ඔහුගේ සගයෝ සමත්වූහ.

ගයාන් වීරරත්නගේ උත්සාහක දිනුමකින් තරගය ආරම්භයේදීම ලකුණු 5-0 කින් පෙරමුණගත් මහනුවර  පිල ඉදිරියට ගෙන ගිය මරිජා සිය පළමු උත්සාහක දිනුම තැබුවේය. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට නයිජල් රත්වත්ත සමත්වීමත් සමග මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 12-0 ක් විය.

අනතුරුව නයිජල් රත්වත්ත සාර්ථක කරගත් දඬුවම් පහරකින් පසුව සිය දෙවැනි උත්සාහක දිනුමත් තබමින් සමුගැනීමේ තරගය වර්ණවත් කිරීමට මරිජා සමත්විය. නරඹන්නන් කුල්මත් කළ මරිජාගේ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට නයිජල් රත්වත්ත සමත්වීමත් සමග මහනුවර පිල තරගයේ පළමු භාගය ලකුණු 22-0 කින් නිමා කරගත්තේය.

දෙවැනි භාගය ආරම්භ වී මොහොතකින් තවත් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට නයිජල් රත්වත්ත සමත්වීමෙන් පසුව සිය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවට පිවිසි හැව්ලොක්ස් පිල සුදම් සුරියආරච්චි, ලිස්ටන් ෆ්ලැට්නි සහ ලසිඳු ඉෂාන් තැබූ උත්සාහක දිනුම් තුනකින් සත්කාරක මහනුවර පිල අන්ද මන්ද කළේය. මේ උත්සාහක දිනුම් තුනම කිසි කරදරයක් නැතිව ගෝල බවට ප්‍රවර්තනය කළ රීසා මුබාරක් හැව්ලොක්ස් පිල ලකුණු 21ක් දක්වා ඉදිරියට ඇදගෙන ගියේය.

එහෙත් ඊට මොහොතකට පසුව තරගයේ සිය තුන්වැනි උත්සාහක දිනුමත් තැබූ මරිජා සිය කණ්ඩායම ලකුණු 30-21 කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය. අවසන් මොහොතේ දෙවැනි උත්සාහක දිනුමත් තැබීමට ලසිඳු ඉෂාන් සමත්වූවත් මහනුවර පිලේ ජයග්‍රහණය ආපසු හැරවීමට හැව්ලොක්ස් පිලට නොහැකිවිය.   

නරඹන්නන්ගේ ප්‍රීතිඝෝෂා මැද ලීග් රග්බි පිටියට සමුදුන් ෆාසිල් මරිජා එළැඹෙන ක්ලිෆර්ඞ් කුසලාන පිලිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් පසුව දේශීය රග්බි පිටියට සමුදීමට නියමිතය.



ඡායාරූප : ඉන්ද්‍රරත්න බාලසූරිය

 


අදහස් (0)

කුසලානය ගෙදරටම ගෙනත්දී මරීජා සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.