Last Update  :  2025-01-27 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කූනමන්ගේ පියාසැරියට අවසර
වෝන් - මුරලි කුසලාන

කූනමන්ගේ පියාසැරියට අවසර

editorial - 2025 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වෝන් - මුරලි කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයට නම්කර සිටි මැතිව් කූනමන්ට ශ්‍රී ලංකා සංචාරය සඳහා අවසර ලැබී තිබේ. ඕස්ට්‍රේලියානු  පිලේ වමත් දඟ පන්දු යවන්නා වන මැතිව් කූනමන් බිග් බෑෂ් තරගාවලියේදී තුවාල ලැබීම හේතුවෙන්, ශ්‍රී ලංකා සංචාරයට සම්පූර්ණ අනුමැතිය ලැබෙන තෙක්, සිකුරාදා වන තුරුත් ඕස්ට්‍රේලියාවේම සිටියේය. 

මේ වන විට ටෙස්ට් කඩුලු 539 ක හිමිකරුවකු වන, පිට දඟ පන්දු යවන ක්‍රීඩක, නේතන් ලයන් ඕස්ට්‍රේලියානුවන්ගේ අංක එකේ තුරුම්පුවයි. වසර 2011 දී ගාල්ලේදීම සිය ටෙස්ට් බෞතීස්මය ලද ලයන්, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරග 13 කදී, පිතිකරුවන් 46 දෙනකු ආපසු ක්‍රීඩාගාරය බලා යවා තිබේ. 

මැතිව් කූනමන්, තවමත් ටෙස්ට් තරග 3 කට පමණක් සහභාගි වී සිටින අතර ඒවායේදී දවාගෙන ඇත්තේ කඩුලු 9 කි. එහෙත් ලයන්ගේ සහායක පන්දු යවන්නා වශයෙන් මැතිව් කුනමන් මෙවර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා තිබේ.

බිග් බෑෂ් තරගාවලියේදී බි්‍රස්බේන් හීට් පිල වෙනුවෙන් පන්දු රැකීමේදී ඇතිවූ සුළු අනතුරකින්, කූනමන්ගේ දකුණු අතේ මහපටැඟිල්ලේ සියුම් පිපිරීමක් ඇතිවිය. එහෙත් එය ඉක්මනින් සුව වෙතැයි අපේක්‍ෂා කරන අතර කූනමන් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටී. බි්‍රස්බේන් නුවරදී කළ පුහුණුවීම් වලදී කූනමන් එතරම් අපහසුතාවක් නොපෙන්වූ නමුත් හෙට (26 වැනිදා) ගාල්ලේදී පැවැත්වෙන පළමු පුහුණු සැසියේදී කූනමන්ගේ ආබාධය ගැන වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත. 

බිග් බෑෂ් තරගාවලියට සහභාගි නොවන ක්‍රීඩකයන් කිහිප දෙනක් ටෙස්ට් තරගාවලිය සඳහා ඩුබායි නුවරදී කළ පුහුණුවීම් කිරීමෙන් පසුව වෝන් - මුරලි කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියහ. 

තුවාලකාරයකුත් (මැතිව් කූනමන්) ඇතුළත් ඕස්ටේ්‍රලියානු සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු නම්කර සිටින අතර ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයෝ 18 දෙනෙක් සිටිති. ඔවුන් අතුරින් පැතුම් නිස්සංකගේ සහභාගිත්වය බෙහෙවින් අවිනිශ්චිත තත්ත්වයක පවතී. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී පැවැති තුන්වැනි එක්දින තරගයේදී පන්දුවට පහර දෙමින් සිටි පැතුම් නිස්සංක ඉකිලියේ ආබාධයකට මුහුණ දුන් අතර තවමත් එය සම්පූර්ණ වශයෙන් සුවවී නැත. 

මේ අතර කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාවේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ තරග දෙකකදී සුළු ආබාධ දෙකකට මුහුණ දුන් නමුත් එම ආබාධ මේ වන විටත් සුව වෙමින් තිබේ. ඔවුන් දෙදෙනාම පෙරේදා සහ ඊයේ (23 සහ 24) ගාල්ලේදී පැවැති පුහුණුවීම් වලට සම්බන්ධ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කියති. 

ගෙවීගිය 2024 වසරේදී ලකුණු 1049 ක් ලබාගත් කමිඳු මෙන්ඩිස්, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2024 වසර සඳහා තෝරා ගන්නා ලද ලෝක ටෙස්ට් පිලට ඇතුළත් වූ එකම ශ්‍රී ලාංකිකයාය. ගෙවීගිය වසරේදී කමිඳුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 74.92 කි. 


අදහස් (0)

කූනමන්ගේ පියාසැරියට අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.