Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිලට ලකුණු 43 ක ජයක්

කොදෙව් පිලට ලකුණු 43 ක ජයක්

Nisanka Sandeepani - 2018 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පුනේහිදී ඊයේ (27 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගය ලකුණු 43 කින් ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලී පළමුව පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 283 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ශතකය පෙනි පෙනී සිටි ශායි හෝප් ලකුණු 95 ක් ලබා සිටියදී ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී යනවිට පන්දු 113 කට මුහුණදී සිටියේය. හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් ශායි හෝප්ගේ ඉනිම අලංකාර විය.

ශිම්රන් හැට්මයර් (37) සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 56 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ශායි හෝප් හයවැනි කඩුල්ල සඳහා ජේසන් හෝල්ඩර් (32) සමගින් එක්ව තවත් ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ලකුණු 227 කට කඩුලු 8 ක් දැවී තිබියදී ඈෂ්ලී නර්ස් සහ කෙමාර් රෝච් එක්ව පන්දු 36 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 283 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ ඈෂ්ලී නර්ස් පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත්විය. කෙමාර් රෝච් පන්දු 19 කදි හයේ සහ හතරේ පහර බැගින් ලබාගනිමින් නොදැවී ලකුණු 15 ක් රැස්කිරීමට සමත්විය.

ජස්ප්‍රීට් බුම්රා එක් නිලකුණු ඕවරයක්ද සමගින් සිය ඕවර 10 ලකුණු 35 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. කුල්දීප් යාදව් කඩුලු 2 ක්ද බුවනේෂ්වර් කුමාර්, ඛලීඞ් අහ්මඞ් සහ යුස්වේන්ද්‍ර චහල් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

ජයග්‍රහණය කරා ලකුණු 284 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 47.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 240 ක් පමණි.

මෙම තරගාවලියේදී පිට පිට තෙවැනි ශතකය ලබාගැනීමට විරාට් කෝලී සමත්වුවද ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔහු අපොහොසත් විය. ලකුණු 107 ක් රැස්කර සිටියදී මාලන් සැමුවෙල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් විරාට් කොලී දැවීයන විට ඉන්දීය ලකුණු පුවරුව 220 කට කඩුලු 7 ක් විය. පන්දු 119 කට පහරදුන් කෝලීගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10 ක් අලංකාර විය.

කෝලීගේ දැවීයාමෙන් පසු පන්දු 37 කට මුහුණදුන් පසුපෙළ පිතිකරුවන්ට රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 20 ක් පමණි.

මාලන් සැමුවෙල් ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගත් අතර ඔබෙඞ් මැකෝයී, ඈෂ්ලී නර්ස් සහ ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. වේගවත් ලකුණු 40 ක් සහ කඩුලු 2 ක් දවාගත් ඈෂ්ලී නර්ස් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

බ.ඉ.කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 283
(කිරන් පවෙල් 21, ශායි හෝප් 95, ශිම්රන් හැට්මයර් 37, ජේසන් හෝල්ඩර් 32, ඈෂ්ලී නර්ස් 40, ජස්ප්‍රීට් බුම්රා 35/4, කුල්දීප් යාදව් 52/2)

ඉන්දියාව - ඕවර 47.4 කදී සියලුදෙනා දැවී 240
(ශීකර් ධවාන් 35, විරාට් කෝලී 107, අම්බති රයිදු 22, රිෂාබ් පාන්ට් 24, මාලන් සැමුවෙල් 12/3, ඔබෙඞ් මැකෝයී 38/2, ඈෂ්ලී නර්ස් 43/2, ජේසන් හෝල්ඩර් 46/2)


අදහස් (0)

කොදෙව් පිලට ලකුණු 43 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.