Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝඩුකාරයන් රැසක් ටෙස්ට් දොරටුව අබියස

කෝඩුකාරයන් රැසක් ටෙස්ට් දොරටුව අබියස

ශනුක අරවින්ද - 2018 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොදෙව් දූපත්හිදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සමන්විත සංචිතයට තවමත් ටෙස්ට් වරම් දිනා නැති ආරම්භක පිතිකරුවෙක් වන මහේල උඩවත්ත කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දෙරට අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට ජූනි මස 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට දිවා-රාත්‍රී ටෙස්ට් තරගයක්ද ඇතුළත් වේ. තරගාවලියේ පළමු තරගය ටි්‍රනිඩෑඞ්හිදීද, දෙවැන්න ශාන්ත ලුසියාහිදීද, තෙවැන්න (දිවා-රාත්‍රී) බාර්බඩෝස්හිදීද පැවැත්වීමට නියමිතය.

මෑතකදී නිමාවට පත්වූ අන්තර් පළාත් සිවුදින තරගාවලියේදී සහ මේ දිනවල පැවැත්වෙන අන්තර් පළාත් එක්දින තරගාවලියේදී දක්වා ඇති දස්කම් පදනම් කරගනිමින් උඩවත්ත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.

මහනුවර කණ්ඩායම නියෝජනය කරන උඩවත්ත, සිවුදින තරගාවලියේ තරග 3 කදී ශතකයක් (නොදැවී 103) සහ අර්ධ ශතකයක් (97) සමගින් ලකුණු 283 ක් රැස්කළේය. එක්දින තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග 3 කදී ශතකයක් (116) සහ අර්ධ ශතකයක් (71) සමගින් ඔහු රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 187 කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 9 කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 8 කට ක්‍රීඩා කර ඇති උඩවත්ත එහිදී පිළිවෙලින් ලකුණු 257 ක් සහ 96 ක් රැස්කරගෙන ඇත. ඊට එක්දින අර්ධ ශතක 2 ක්ද ඇතුළත් වේ.

උඩවත්තට අමතරව ටෙස්ට් පිටියට කෝඩුකාරයන් වන ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දුද ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 28 හැවිරිදි පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 11 කට සහ විස්සයි20 තරග 7 කටද ක්‍රීඩා කර ඇති අතර එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 14 කි.

දකුණත් මඳ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් වන කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිළිවෙලින් විස්සයි20 තරගය 3 කට සහ එක්දින තරගයකට ක්‍රීඩා කර තිබේ. එහිදී කසුන් රාජිත කඩුලු 3 ක් දවාගෙන ඇති අතර අසිත ප්‍රනාන්දු කඩුලු දවාගැනීමට සමත්ව නැත.

කොදෙව් තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට පිතිකරුවන් පිතිකරුවන් 8 දෙනකුගෙන්, දඟ පන්දු යවන්නන් සිවුදෙනකුගෙන් සහ වේග පන්දුයවන්නන් 5 දෙනකුගෙන් සමන්විත වේ. ඊට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක සුරංග ලක්මාල්ද ඇතුළත්ව සිටිති. එහෙත් ඔවුන් දෙදෙනා තරගාවලියට සහභාගි වනවාද නැද්ද යන්න ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවයන් අනුව තීරණය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් නිල වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සංචාරයක නිරත වන සිවුවැනි අවස්ථාව මෙය වේ. මින් පෙර පැවැති තරගාවලි තුනේදී දෙරට අතර ටෙස්ට් තරග 6 ක් පවත්වා තිබේ. ඉන් තරග 3 ක් ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකිවී ඇත්තේ එක් තරගයක් පමණි. සෙසු තරග 2 ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ඇන්ලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ළහිරු ගමගේ, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු

 


අදහස් (0)

කෝඩුකාරයන් රැසක් ටෙස්ට් දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.