Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ වසර අගදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත නමුත් මෙම තරගය ගාල්ල ක්‍රීඩාංගණයෙන් ඉවත් කරගැනීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය සියලුම උත්සාහයන් දරනු ඇතැයි වාර්තා වේ. එංගලන්තයේ ඬේලි මේල් පුවත්පත් සෙනසුරාදා (26 වැනිදා) වාර්තා කළේ මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීම සඳහා අවශ්‍යවන පරිදි තණතීරුව සකස් කිරීමට ගාල්ල ක්‍රීඩාංගණයේ නිලධාරියකු එකඟ වී සිටින බවයි.
ඉරිදා (අද) රාත්‍රියේ විකාශය වීමට නියමිත වාර්තා වැඩසටහනකට අනුව තරගයේ තීරණයක් ලබාගත හැකිවන පරිදි තණතීරුව සකස් කළ හැකිද යන්න අල් ජසීරා රූපවාහිනී සේවයේ ‘වෙස්වළාගත්’ නියෝජිතයෙක් ගාල්ල ක්‍රීඩාංගණයේ නිලධාරියකුගෙන් විමසා තිබේ. ඒ අනුව ඔට්ටු කරුවන්ට තමන්ගේ අනුමාන ඉදිරිපත් කරමින් ඔට්ටු ලබාගත හැකිබව කියැවේ.
“ඔව්. මට පුළුවන්. සතියක් කළින් මම ඒක ස්ථිර කරලා කියන්නම්” යන්න ගාල්ලේ ක්‍රිකට් නිලධාරියාගේ පිළිතුර වී තිබේ.
ක්‍රීඩාංගණයේ සේවකයන්ගෙන් තුන් හතර දෙනෙක් තමන්ට උපකාර කිරීමට සූදානම් බවද ගාල්ලේ ක්‍රිකට් නිලධාරියා පවසා ඇත්තේ “අපි ඒකට වතුර දාන්නේ නෑ. එතකොට තණතීරුව සවුත්තු වෙනවා” යයිද කියමිනි. සෙනසුරාදා ඬේලි මේල් පුවත්පතේ එසේ සටහන් වී තිබේ.
අල් ජසීරා රූපවාහිනී සේවයේ වාර්තා වැඩසටහනකට අනුව පසුගිය වසරේදී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේද තණතීරුවේ ස්වභාවය වෙනස් කිරීමට මෙම නිලධාරියා සම්බන්ධ වී තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තණතීරුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් කරනු ලබන ඕනෑම පරීක්‍ෂණයකට පූර්ණ සහයෝගය දෙන බවයි.
“අපි ලබන සඳුදාම අපේ ආරක්‍ෂක සහ දූෂණ මර්ධන නිලධාරියා කැඳවලා මේ ගැන පියවරක් ගන්නවා. ඒ සම්බන්ධයෙන් අපට කරන්න පුළුවන් දේ තමයි මුලු රටේම ක්‍රීඩාංගණවල තණතීරුවල තත්ත්වය සම්බන්ධයෙන් වගකීමක් ගන්න කෙනෙක් පත්කරන එක..එයා ඒ සම්බන්ධයෙන් වගකියන්න ඕනේ” යයි එම නිලධාරියා කියා සිටියේය.
“කොහොම වුණත් තරගාවලිය අවලංගු කරන්න එංගලන්තයට පුළුවන් කමක් නෑ. ඒකට ඒ ගොල්ලන් බැඳිලා ඉන්නවා....ඔය උත්සාහ කරන්නේ පළමු ටෙස්ට් තරගය ගාල්ලෙන් එළියට ගන්නයි”
“ඒකෙන් වෙන්නේ සත්කාරක කණ්ඩායම වශයෙන් අපට තියෙන වාසිය ඉවත් කිරීමයි. ඒත් ලෝකයේ ඕනෑම රටක තරගාවලියක් පැවැත්වෙනකොට සත්කාරක රටට වාසි වෙන විදිහට තමා තරගාවලියේ කාල සටහන වගේම තණතීරුත් සකස් කරන්නේ...ඒක සාමාන්‍ය දෙයක්” යයි පැවසූ එම නිලධාරියා
“මොකද එංගලන්තෙට හරි නැත්නම් ඕස්ටේ්‍රලියාවට ඒත් නැත්නම් දකුණු අප්‍රිකාවට ගියාම අපට දඟ කැවෙන තණතීරු දෙනවාද?” යන්නත් ප්‍රශ්න කළේය.
කෙසේ වෙතත් ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පළමු සහ එකම අවස්ථාව මෙය නොවේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ නොවීම නිසා ගාල්ල ක්‍රීඩාංගණයේ හිටපු කළමණාකරු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රීඩකයකුද වූ ජයනන්ද වර්ණවීර මහතාට 2016 ජනවාරි මාසයේ සිට වසර 3 ක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.
නොවැම්බර් මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ගාල්ලේදී පැවැත්වීමට නියමිතය. ටෙස්ට් තරගාවලියකදී පළමු තරගය ගාල්ලේදී පැවැත්වීම වසර 20 කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සම්ප්‍රදායකි. එහි පළමුවැන්න 1997 දී නවසීලන්ත පිලට එරෙහිව පැවැත්විණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.