Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුජරාට් පිල අවසන් මහ තරගයට
අයි.පී.එල්. 2023

ගුජරාට් පිල අවසන් මහ තරගයට

editorial - 2023 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 62 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද (26 වැනිදා) සමත් විය. ඒ අනුව ඔවුන් අනිද්දා (28 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.  

අහමදාබාද්හි නරේද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 234 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායමට ඕවර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි. මෝහිත් ශර්මා ලකුණු 10 කට කඩුලු 5 බිඳහෙළමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළ අතර ඒ සඳහා අනගි සහායක් දුන් රෂීඩ් ඛාන් සහ මොහොමඩ් සාමි කඩුලු 2 බැගින් දවාගත්හ.

මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සූර්යකුමාර් යාදව් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 61 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. මොහොමඩ් සාමි යැවූ ඕවරයකදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමග ලකුණු 24 ක් රැසකළ තිලක් වාර්මා දැවී යන විට පන්දු 14 කින් ලකුණු 43 ක් ලබා සිටියේය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 233 ක් ලබාගත් අතර එය අයි.පී.එල්. අවසන් වටයේ තරගයකදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 60 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 129 ක් රැස්කරමින් ගුජරාට් ඉනිම සවිමත් කළේය.

මෙවර තරගාවලියේ ඔහු ලබාගත් තෙවැනි ශතකය මෙය වූ අතර අයි.පී.එල්. අවසන් වටයේ තරගයකදී පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තා අතරට එක්විය. සායි සුදර්ෂන් (43) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 138 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ගිල් සමත් විය.

 
ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 233
(රිධිමන් සාහා 18, ශුබ්මන් ගිල් 129, සායි සුදර්ෂන් 43, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 28)

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 171
(කැමරන් ග්‍රීන් 30, සූර්යකුමාර් යාදව් 61, තිලක් වර්මා 43, මෝහිත් ශර්මා 10/5, රෂීඩ් ඛාන් 33/2, මොහොමඩ් සාමි 41/2) 

 


අදහස් (0)

ගුජරාට් පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.