Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුවන් අනතුරකින් බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක් මරුට

ගුවන් අනතුරකින් බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක් මරුට

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීලයේ සාන්ත කැතරිනා ප්‍රාන්තයේ චපේකෝ නුවර පළමු පෙළ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන චපෙකොන්ස් ක්‍රීඩා සමාජයේ පාපන්දු කණ්ඩායම ඇතුලුව තවත් මගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කොලොම්බියාවේ දී කඩා වැටීමෙන් එම ගුවන්යානයේ ගමන්ගත් සියලු පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.


බ්‍රසීලයට අයත් ගුවන් යානයක් වන මෙම ගුවන් යානය බ්‍රසීල වේලාවෙන් ඊයේ දහවල් 3.35 ට පමණ (ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රී 12.30ට පමණ)  සාඕ පාවොලෝ නුවරින් ගමන් අරඹා තිබිණ. මේ ගුවන්යානයේ 80 කට අධික පිරිසක් සිටි බවට වාර්තා වෙයි. මෙම අනතුරෙන් දිවි ගලවාගත් කිසිවකු සම්බන්ධයෙන් හෝ ගුවන්යානයේ සිටි සංඛ්‍යාව කොපමණදැයි පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නොමැත.


ගුවන්යානය කඩා වැටී ඇත්තේ එහි ගමනාන්තය වන කොලොම්බියාවේ මෙඩලින් ජාත්‍යන්තර ගුවන්තොටුපල බලා පියාසර කරමින් සිටියදීය. මෙඩලින් නගරය කොලොම්බියාවේ දෙවැනි විශාලතම නගරයයි. චපේකොන්ස් පාපන්දු පිල එහි දී ඇට්ලෙටිකෝ නැෂනල් පිල සමග දකුණු ඇමරිකා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේය.  


බ්‍රසීලයේ සාඕ පාවෝලෝ නුවරින් ගමන් ඇරැඹූ මේ ගුවන්යානය සිය ගමනාන්තයට ළඟාවීමට පෙර බොලීවියාවේ සාන්ත කෘස් ඩි ලා සියේරා ගුවන්තොටුපලට ගොඩ බස්වා තිබේ. ඉන් අනතුරුව මෙඩලින් ගුවන්තොටුපල දක්වා ගමන් අරඹා තිබේ. කෙසේවෙතත් මේ අනතුරින් කිහිපදෙනකුගේ ජීවිත බේරාගැනීමට හැකිවනු ඇතැයි ගුවන්යානය කඩා වැටුණු කඳුකර ප්‍රදේශයට ඒ මොහොතේදීම ගිය මෙඩලින් නගරාධිපතිවරයා වන ෆෙඩරිකෝ ගුටියාරස් මහතා විශ්වාසය පළ කරයි.


ඒ අවට ප්‍රදේශයට දැඩි වර්ෂාව පතිතවන බැවින් ගිලන්රථවලට සහ මෙහෙයුම් නිලධාරීන්ට සිද්ධිය වූ ස්ථානයට ළඟාවීමේ දුෂ්කරතා පවතින බවද ගුටියාරස් මහතා කොලොම්බියානු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබේ.


චපේකොන්ස් කණ්ඩායම සහ කොලොම්බියාවේ ඇත්ලෙටිකෝ නැෂනල් පාපන්දු පිල අතර දකුණු ඇමෙරිකානු කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය හෙට (30) පැවැත්වීමට නියමිතව තිබිණි.


කෙසේවෙතත් ගුවන් අනතුරින් මියගිය චපෙකොන්ස් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් සිටිදැයි මෙතෙක් තහවුරු වී නොමැත.

 

-077

 


අදහස් (0)

ගුවන් අනතුරකින් බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක් මරුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.