Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෝල ව්‍යාපෘතියට විමර්ශන විගණනයක්

ගෝල ව්‍යාපෘතියට විමර්ශන විගණනයක්

රොෂාන් ගුණරත්න - 2013 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මත භේදයකට තුඩුදුන් ශ්‍රී ලංකාවේ සුනාමි හා ගෝල ව්‍යාපෘති පාපන්දු ඉදිකිරීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන විගණනයක් ආරම්භ කිරීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තාවේ. මෙම විශේෂ විගණනය ජාත්‍යන්තර විගණන ආයතනයකට පැවරීමට කටයුතු කෙරේ.
 
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සංවර්ධන කමිටු ප‍්‍රධානි, ප‍්‍රංශ ජාතික සිරිල් ලොෂියල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් පසු මෙම තීරණය ගෙන ඇතැයි පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සුනාමි ආධාර යටතේ දිවයිනේ ඉදිවූ පාපන්දු ක‍්‍රීඩාංගණ හා ක‍්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමත්, ගෝල ව්‍යාපෘතිය යටතේ ඉදිවූ පාපන්දු ව්‍යාපෘති දෙකක් සම්බන්ධයෙන් අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විමර්ශන ආරම්භ කළේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාගේ පැමිණිල්ලක් මතය.

මෙම ඉදිකිරීම් සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට පිරිනැමූ බව කියැවෙන ආධාර මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 39 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 47 කට ආසන්න මුදලකි.

අන්තර්ජාතික පාපන්දු සමුළු නියෝජිතයින්ගේ විමර්ශන වාර්තාව සූරිච් නුවර පිහිටි අන්තර් ජාතික පාපන්දු සම්මේලන මූලස්ථානයට බාරදීමෙන් පසු ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹ තිබෙන බවද වාර්තාවේ. ඔවුන්ගේ නිගමන ඇතුළත් වාර්තාව මේ වනවිටත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාට බාරදී තිබේ.

මතභේදයට තුඩුදුන් සුනාමි පාපන්දු ආධාර සම්බන්ධයෙන් පසුගිය ජූනි 5 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවූ ගෝල සංවර්ධන ව්‍යාපෘතියේ හිටපු සභාපති හා ලෝක පාපන්දු සමුළුවේ හිටපු විධායක සභික මනිලාල් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවලට පිළිතුරු දීමට තමා බැඳී සිටින බව පැවැසීය.

මනිලාල් මහතා පැවසුවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට දුන් සියලූ සුනාමි ආධාර විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව පරිහරණය කළ බවට තමන් සහතික වන බවය. එම ඉදිකිරීම්වලට අදාළ සියලූම මූල්‍ය වාර්තා තමා සතුවන බවත් අවශ්‍ය කෙනකුට ඒවා පරීක්ෂා කළ හැකි බවත් එම මාධ්‍ය හමුවේදී හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුතුව කමිටුවක් පත්කළ නමුත් පසුව එම කමිටුවේ කටයුතු කී‍්‍රඩා අමාත්‍යං ලේකම්වරයා විසින් අත්හිටුවන ලදි. එසේ තිබියදීත් සරත් වීරසේකර මහතා විසින් සකස් කරන ලද වාර්තාව ප‍්‍රතික්ෂේප වූයේ ඊට කමිටු සභාපතිවරයා පමණක් අත්සන් තබා තිබීම හේතුවෙනි.

වීරසේකර කමිටු වාර්තාවෙන් චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කර තිබුණි. පසුව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ නියමයෙන්, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකුගේ ප‍්‍රධානත්වයෙන් පත්කරන ලද විමර්ශන කමිටුවේ නිගමනය වූයේ ශ්‍රී ලංකාවට ප‍්‍රදානය කෙරුණු සුනාමි ආධාර නිසි ලෙස පරිහරණය වී නැති බවත් එහි අඩුපාඩු හා දෝෂ රැසක් හඳුනාගත් බවත්ය.

පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා මෙම සුනාමි ආධාර හෙළිදරව්වීමෙන් පසු රහස් පොලිසියටද පැමිණිළි කර සිටි අතර ඔහු පැවසුවේ සිය ආරක්ෂාව සඳහා තමන් එම ක‍්‍රියාමර්ගය ගත් බවය.

(නාමල් පතිරගේ)


අදහස් (1)

ගෝල ව්‍යාපෘතියට විමර්ශන විගණනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.