Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චතුරංග - බුද්ධික වාර්තා දෙකක් පිහිටුවති

චතුරංග - බුද්ධික වාර්තා දෙකක් පිහිටුවති

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවිධානයෙන් පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී අද (09) ආරම්භ වූ XXIX වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ පළමු දිනයේදී යගුලිය විසිකිරීම සහ දුර පැනීම පිරිමි ඉසව්වලදී සංජීව චතුරංග රණසිංහ සහ රොෂාන් බුද්ධික රාජපක්‍ෂ නව මහවැලි ක්‍රීඩා වාර්තා පිහිටුවීමට සමත් වූහ.  

හුරුඵවැව කළාපයේ යූ. ආර්. රොෂාන් බුද්ධික රාජපක්‍ෂ දුර පැනීම පිරිමි ඉසව්වෙන් නව තරගාවලිය වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එහිදී රාජපක්‍ෂ මීටර 7.40 ක දුරක් වාර්තා කළේය.

බුද්ධික රාජපක්‍ෂ විසින් 2015 වසරේ මීටර 7.32 ක දුරක් පනිමින් පිහිටුවා තිබූ වාර්තාව ඔහු මෙවර බිඳ හෙළීම කැපී පෙනිණු අතර ඔහු 2014 වසරේ සිට පිට පිටම සිවුවරක් එම ඉසව්වේ පළමු ස්ථානය දිනාගැනීමට සමත් විය.  

සත්කාරක ‘බී’ කළාපයේ ආර්. එම්. සංජීව චතුරංග රණසිංහ, යගුලිය විසිකිරීම පිරිමි ඉසව්වේදී මීටර 13.63 ක දස්කමක් දක්වමින් තරගාවලියේ පළමු නව තරගාවලි වාර්තාව පිහිටුවීමට පෙරේදා පෙරවරුවේ සමත් විය.

මෙහිදී රණසිංහ ඔහු 2015 වසරේ මීටර 13.59 ක් විසිකරමින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙළීම කැපී පෙනේ.
රණසිංහ 2013 වසරේ සිට අඛණ්ඩව වසර පහක් යගුලිය විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය රැකගැනීමට සමත්ව සිටියි.

යගුලිය විසිකිරීමේ පිරිමි තරගයේ දෙවැනි ස්ථානය ‘ජී‘ කළාපයේ රෝහිත චන්ද්‍රසිරි ජයසිංහ (මීටර 13.13) ද, තෙවැනි ස්ථානය ‘එච්’ කළාපයේ ඩබ්ලිව්. කේ. පී. විජේවීර (මීටර 11.05) ද, හිමිකර ගත්හ.

දුර පැනීම පිරිමි ඉසව්වේ දෙවැනි ස්ථානය ‘බී’ කළාපයේ එස්. පී. පී. සමරවීර (මීටර 7.17) විසින් ද, තෙවැනි ස්ථානය වලව කළාපයේ ආර්. අයි. කසුන් ශාන්ත (මීටර 6.69) විසින් ද හිමිකර ගන්නා ලදී.

ක්‍රීඩා උළෙලේ තරග ආරම්භ කරමින් පැවැති මීටර 1500 පිරිමි ඉසව්වේ පළමු ස්ථානය වික්ටෝරියා කළාපය නියෝජනය කළ එරන්ද උදය බණ්ඩාර හේරත් විනාඩි 4:08.2 කාලයක් වාර්තා කරමින් පහසුවෙන් දිනා ගැනීමට සමත් විය.

ක්‍රීඩා උළෙලේ පළමු දිනය වූ අද අවසන් තරග 15 ක් සහ මූලික තරග 12 ක් පැවැත්විණි. මෙවර මලල ක්‍රීඩා උළෙලට මහවැලි කළාප 10 ක් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600 ක් පමණ සහභාගී වී සිටියහ.

පොළොන්නරුව ප්‍රදේශයට වරින් වර මද වර්ෂාවක් ඇඳ හැලුණ ද එය තරගවලට එතරම් බාදාවක් නොවීය.  

දිඹුලාගල අරාණ්‍ය සේනාසනයේ ආගමික වාතාවත්වලින් අනතුරුව දැල්වූ ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව, මහවැලි ‘බී’ කළාපය නියෝජනය කරමින් දකුණු අසියානු තුන්පිම්ම පදක්කම් ලාභි ගයාන් සමීර දිසානායක සහ යගුලිය සහ කවපෙත්ත විසිකිරීමේ ශූරී සොනාලි කුමාරි වීරසේකර ලබාගනිමින් ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා පහන දැල්වූහ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පෙරේදා පෙරවරුවේ පැවැත්විණි.

එහිදී ක්‍රීඩා අමාත්‍ය දයසිරි ජයසේකර මහතා පැවසුවේ පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයට ද කෘත්‍රිම ධාවන පථයක් ලැබීම වැඩි ඈතක නොමැති බවත් එවිට මහවැලි දරුවන්නට ගමේම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් ලැබෙන බවයි.

මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න සහ මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ යන මහත්වරු සහ මහවැලි සහකාර අධ්‍යක්‍ෂිකා (ක්‍රීඩා) ශ්‍රියාණි මල්ලිකා මහත්මිය ද මේ අවස්ථාවට එකතු වූහ.    

තරගාවලියේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරු 2.00 සිට පැවැත්වීමට නියමිතව තිබුණි.


පළමු දිනයේ තරග ප්‍රතිඵල:

● යගුලිය විසිකිරීම (පිරිමි) - නව තරගාවලිය වාර්තාවකි
1. ආර්. එම්. එස්. සී. රණසිංහ (මීටර 13.63 නව තරග වාර්තාකි - බී කළාපය), 2. රෝහිත චන්ද්‍රසිරි ජයසිංහ (මීටර 13.13 - ජී කළාපය) සහ . ඩබ්ලිව්. කේ. පී. විජේවීර (මීටර 11.05 - එච් කළාපය)

● දුර පැනීම (පිරිමි) - නව තරගාවලිය වාර්තාවකි
1. යූ. ආර්. ආර්. බී. රාජපක්‍ෂ (මීටර 7.40 - හුරු`ඵවැව කළාපය), 2. එස්. පී. පී. සමරවීර (මීටර 7.17 - බී කළාපය) සහ 3. ආර්. අයි. කසුන් ශාන්ත (මීටර 6.69 - වලව කළාපය)

● මීටර 1500 (පිරිමි)
1. එරන්ද උදය බණ්ඩාර හේරත් (විනාඩි 4:08.2 - විටෝරියා කළාපය), 2. ඉන්දික සමන් කුමාර (4:44.1 - ජී කළාපය) සහ 3. පී. එච්. නිරංග (5:05.5 - එල් කළාපය)

● මීටර 1500 (කාන්තා)
1. හර්ෂනී තරංගිකා ප්‍රියදර්ශනී (විනාඩි 4:58.2 - බී කළාපය), 2. ඩබ්ලිව්. ඒ. එන්. එස්. වික්‍රමසිංහ (විනාඩි 5:08.9 - වික්ටෝරියා කළාපය) සහ 3. නිපුනි රසාංගිකා (විනාඩි 5:16.4 - එච් කළාපය)

● හෙල්ල විසිකිරීම (කාන්තා)
1. ඉමාෂා මධුමාලි අත්තනායක (මීටර 34.80 - ජී කළාපය), 2. ජී. ඩී. එම්. පී. ජයවික්‍රම (මීටර 30.89 - හුරු`ඵවැව කළාපය) සහ 3. බ. එම්. සී. ඒකනායක (මීටර 29.80 - එච් කළාපය)

● උස පැනීම (කාන්තා)
1. එස්. එම්. මුදිතා මධුෂානි (මීටර 1.62 - බී කළාපය), 2. ඩී. පී. කේ. සඳුනිකා අබේරත්න (මීටර 1.44 - වලව කළාපය), සහ 3. ඩබ්ලිව්. ඒ. ඊ. පී. රණසූරිය (මීටර 1.44 - ජී කළාපය)

● යගුලිය විසිකිරීම (කාන්තා)
1. ජේ. එම්. අයි. සඳමාලි (මීටර 8.70 - බී කළාපය), 2. බී. එම්. සචිනි අයේෂා (මීටර 8.62 - රඹකැන්ඔය කළාපය) සහ 3. ඩී. ඒ. ඉෂාරා මධුෂානී ආරච්චි (මීටර 7.10 - මොරගහකන්ද කළාපය)

● මීටර 800 (පිරිමි)
1. එල්. එස්. දුලාජ් මධුරංග (විනාඩි 1:59.1 - වලව කළාපය), 2. කුසල් සංදීප (විනාඩි 2:00.0 - බී කළාපය) සහ තරිඳු තිවංක (විනාඩි 2:03.5 - එච් කළාපය)

● දුර පැනීම (කාන්තා)
1. එම්. ජී. නිර්මලා කුලතුංග (මීටර 5.27 - සී කළාපය), 2. කේ. වී. විදූෂි සත්සරා සංදීපනී (මීටර 5.12 - වලව කළාපය) සහ 3. එස්. එම්. එස්. නදීශානි තෙන්නකෝන් (මීටර 5.08 - බී කළාපය)

● හෙල්ල විසිකිරීම (පිරිමි)
1. හංසගීත් ද සිල්වා (මීටර 53.72 - බී කළාපය), 2. සෞම්‍ය ප්‍රසාද් (මීටර 53.26 - එච් කළාපය) සහ 3. පී. ඒ. ගිහාන් ලක්මාල් (මීටර 49.74 - වලව කළාපය)

● මීටර 3000 (පිරිමි)
1. එම්. ඒ. පුබුදු ජනක් ප්‍රසන්න (විනාඩි 16:55.4 - රඹකැන්ඔය කළාපය), 2. ඩබ්ලිව්. ඒ. තුෂාන් පැතුම් (විනාඩි 19:44.8 - වලව කළාපය) සහ 3. එස්. එම්. ධනංජය ලක්‍ෂාන් (විනාඩි 19:52.8)

● උස පැනීම (පිරිමි)
1. ඒ. පී. ජී. ජී. කේ. කේ. ගුරුගේ (මීටර 1.90 - සී කළාපය), 2. ෂෙහාන් රඹුක්වැල්ල (මීටර 1.84 - එච් කළාපය) සහ 3. කේ. ඊ. මලිඳු ප්‍රවීණ (මීටර 1.70 - වලව කළාපය)

● මීටර 3000 (කාන්තා)
1. ඩී. එම්. කේ. දිනූෂි ලක්මිණි (විනාඩි 18:41.2 - වලව කළාපය), 2. පුබුදු නිම්සර (විනාඩි 19.42.8 - වලව කළාපය) සහ 3. තිලකා එදිරිසූරිය ආරච්චි (විනාඩි 20:58.5)

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

චතුරංග - බුද්ධික වාර්තා දෙකක් පිහිටුවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.