Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි

චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය තුළ පන්දු රකිමින් සිටියදී පන්දුව පළුඳු කළ බවට එල්ලවන චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රතික්ෂේප කරයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියා සිටින්නේ පන්දුව ඔප දැමිය යුතු නියමිත ක්‍රමවේදයට බැහැරින් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගත් බවයි. සාක්කුවේ රඳවාගෙන සිටි ටොපියක් කටේ දමාගැනීමෙන් පසුව ඛේඨය තවරා පන්දුව ඔප දැමීම සම්මත ක්‍රමවේදයට පටහැණි බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි.

තෙවැනි දිනයේ තරගය ආරම්භ කිරීමට පෙර පන්දුව වෙනත් පන්දුවකට මාරු කිරීමට විනිසුරුවන් පියවර ගැනීමත් සමග ඊට විරෝධය දක්වමින් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා පිටියට පිවිසීමෙන්  වැළකී සිටියහ. එම මතභේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ සොයා බැලීමකින් පසුව පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සහ වෙනත් ආකාරයකින් පන්දුව පළුදු කිරීම යන චෝදනා වලට චන්දිමාල්ට එරෙහිව නිල වශයෙන් පරීක්‍ෂණයක් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව  සූදානම් වෙයි.

තරගයේ දෙවැනි දිනයේ අවසන් භාගයේ විඩියෝ දර්ශන නැරඹීමෙන් අනතුරුව විනිසුරුවන් සහ තරග තීරකවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් චන්දිමාල්ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් සභාවට පැමිණිළි කර තිබේ. පන්දු රකිමින් සිටියදී චන්දිමාල් සිය වම් සාක්කුවේ රඳවාගෙන සිටි ටොපියක් ගෙන කටේ දමාගැනීමෙන් අනතුරුව පන්දුව පිරිමදින අයුරු එම විඩියෝ දර්ශන වල සටහන්ව ඇති අතර ඒ මොහොත් ඔහු පන්දුව පළුදු කිරීමේ උත්සාහයක නිරත වූ බවට විනිසුරුවෝ සැක කරති. විනිසුරුවරුන්ගේ අනුමානය වන්නේ කෘතිම යමක් යොදාගනිමින් (පැණිරස සහිත ඛේඨය) පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට චන්දිමාල් උත්සාහ කළ බවයි.

ඒ අනුව තරගය අවසන් වීමෙන් අනතුරුව චන්දිමාල් මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිත අතර එහිදී ඔහු වැරදිකරුවකු බවට පත්වුවහොත් කොදෙව් කණ්ඩායමට එරෙහිව බාර්බඩෝස්හිදී පැවැත්වීමට නියමිත තෙවැති ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද ඔහුට අහිමි වනු ඇත.

පන්දුව පළුඳු කිරීමේ වරදට දැනට නියම කෙරෙන දඬුවම ටෙස්ට් තරග 4 ක තහනමක් හෝ එක්දින ජාත්‍යන්තර තරග 8 ක තහනමක් දක්වා ඉහළ දැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිර්දේශ කර ඇති නමුත් තවමත් එම යෝජනාව සම්මත වී නොමැත.

මින් පෙර 2016 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩුප්ලෙසීද මෙවැනිම මතභේදාත්මක සිදුවීමකට මුහුණදුන්නේය. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයක් අතරතුර සිය මුඛයේ තිබූ පැණිරස සහිත ඛේඨය යොදාගමින් ඩුප්ලෙසී පන්දුව පිරිමදින අයුරු තරගය ආවරණය කළ වීඩියෝ ශිල්පීන්ගේ කැමරාවලට හසුවී තිබිණ. එම ක්‍රියාවට එරෙහිව පැනවූ දඬුවමක් ලෙස අදාළ තරගයේදී ඔහුට හිමිවූ මුලු තරග ගාස්තුවම දඩ මුදලක් ලෙස අයකර ගැනීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගත්තේය.


- 036

 


අදහස් (0)

චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.