Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල් ප්‍රාතිහාර්යයක් සොයයි

චන්දිමාල් ප්‍රාතිහාර්යයක් සොයයි

රොෂාන් ගුණරත්න - 2019 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියානුවන් රෑන එක්වී පසුගිය ටෙස්ට් තරගාවලියේදී ඕස්ටේ්‍රලියානු පිල පරාජය කරන අකාරය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මහත් විමසිල්ලෙන් බලා සිටියෝය. එහෙත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කියන්නේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ඕස්ටේ්‍රලියාවේදීම පරාජය කිරීමට නම් ප්‍රාතිහාර්යයක් උවමනා බවයි.  

ටෙස්ට් තරගාවලියේදී ඕස්ටේ්‍රලියානුවන් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන අවස්ථාව සම්බන්ධයෙන් විමසූ කල්හි දිනේෂ් චන්දිමාල් වචන තෝරා බේරා ගත්තේ මහත් පරෙස්සමෙනි. 

“නිසැක වශයෙන්ම ඒක අපට අභියෝගයක් තමයි. මේක අපේ පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටත් එයාලා හමුවේ තියෙන අභියෝගයක් වශයෙන් ගන්න පුළුවන්.....තමන්ට කරන්න පුළුවන් හොඳම දේ කරලා..කණ්ඩායම වෙනුවෙන් 200්‍ර ක් දෙන්න පුළුවන් නම්....අපට මෙතන ප්‍රාතිහාර්යයක් කරන්න පුළුවන්” 

“කණ්ඩායමක් හැටියට අපට ඕනෑ කරන්නේත් එකම තමයි....අපි බලමු” යයි චන්දිමාල් පැවසීය. 

චන්දිමාල් කී ආකාරයට ඉන්දියානුවන්ගේ විශිෂ්ට ක්‍රීඩා විලාසය දෙස ඔහු හොඳින් ඇසගසාගෙන සිටියේය. ඉන්දියානුවන් මෑතකදී ලබාගත්තේ ඔවුන් ඕස්ටේ්‍රලියානු භූමියේදී ලද පළමු වැනි ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයයි. 

“ඉන්දියානුවන් 40 වැනි ඕවරයත් 80 වැනි ඕවරයත් අතර වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න ඕස්ටේ්‍රලියානුවන්ට අවසර දුන්නේ නෑ. ඒ කාලයේදී ඕස්ටේ්‍රලියානුවන්ගේ ලකුණු වේගය ඕවරයකට ලකුණු 3.00 කට අඩු වුණා....මා හිතන්නේ ඔවුන් (ඉන්දීය කණ්ඩායම) තරගාවලිය ජයගත් තැන එතැන තමයි” 

“අපට මේ තරගය දිනන්න ඕන නම්, අපි දියුණු කරගත යුත්තේ ඒ කොටස තමයි. අපි ඒක දන්නවා” යයිද චන්දිමාල් පැවසීය. 

බි්‍රස්බේන් නුවර ගැබා තණතීරුවේ පවතින වේගවත් සහ පන්දුව ඉපිළෙන සුළු ස්වභාවය සම්බන්ධයෙන් තමන් කරදර නොවන බවත් චන්දිමාල් කියයි. 

“තණතීරුව දිහා බැලුවාම එහි ගොඩාක් තණකොළ තියෙන බව පේනවා. අපටත් වේග පන්දු යවන්නන් ඉන්නවා. සුරංග ලක්මාල්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර වගේ අය. ඒ තුන්දෙනාගෙන් ළහිරු කුමාරට පුළුවන් පැයට කිලෝමීටර 140 ක විතර වේගයෙන් පන්දු යවන්න....ඒක හොඳ තත්ත්වයක්” යයිද චන්දිමාල් කීවේය. 

කෙසේ වෙතත් චන්දිමාල්ට අමතක වූ කාරණාවක්ද වෙයි. එනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින මේ පන්දු යවන්නන්ම ක්‍රීඩා කළ නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිලට අත්වූ ඉරණමයි. අවසන් වරට පැවති එක්දින තරග තුනකදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පිළිවෙලින් ලකුණු 371 ක්, 319 ක් සහ 364 ක් ලබාගත් නවසීලන්ත පිතිකරුවෝ අද (23 වැනිදා) පැවැති එක්දින තරගයේදී ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ලකුණු 157 කට දැවී ගියෝය. 

ටෙස්ට් තරගයකදී කණ්ඩායමක් දවාගැනීම තනි පන්දු යවන්නකුට කළ හැක්කක් නොවේ. එය සාමූහික ක්‍රියාදාමයකි. කිසිවකුට කඩුලු 5 ක්, 6 ක් හෝ 8 ක් දවාගත හැකි වුවද ඔහුට අනෙක් අන්තයෙන් සාර්ථකව පන්දු යැවිය හැකි හොඳ සහයෝගයක් තිබිය යුතුය. එහෙත් ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට සහයෝගය දක්වන්නේ කවුරුන්ද යන්නයි. 

කෙසේ වෙතත් ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් අතර අත්දැකීම් බහුල ක්‍රීඩකයන් හිඟ හෙයින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසියම් වාසිදායක තත්ත්වයක් ගොඩනඟා ගැනීමේ අවස්ථාවක්ද නැතුවා නොවේ. 

මෙම තරගාවලිය මාර්තු මාසයට පෙර පැවැත්වීමත් ශ්‍රී ලංකා නායකයාගේ සැනසීමට කාරණයකි. මක්නිසාද යත් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වීම නිසා වසරක තරග තහනමකට ලක්ව සිටින ස්ටීවන් ස්මිත් සහ ඬේවිඞ් වෝනර් දෙදෙනාම මාර්තු මාසයේදී සිය තහනමෙන් මිදෙන බැවිනි. 

ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ වෝන්-මුරලිදරන් කුසලාන වෙනුවෙනි. ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් දෙදෙනකු වූ වෝන් මෙන්ම මුරලිදරන්ද පන්දු යැවීමේදී පන්දුව ග්‍රහණය කරගත් ආකාරය ඒ ආකාරයෙන්ම මෙම කුසලානයේ නිරූපනය කර තිබේ. ඒ කුසලානය ඇස ගැටීමම දෙරට අතර ටෙස්ට් තරගාවලියක තරගකාරීත්වය කෙතරම්ද යන්න ඉඟි කරන්නකි. 

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - 
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න , ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල,  කුසල් ජනිත් පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර සහ කසුන් රාජිත

ඕස්ටේ්‍රලියානු ටෙස්ට් සංචිතය - 
ටිම් පේන් (නායක), පැට් කමින්ස්, ට්‍රැවිස් හෙඞ්, ජෝ බර්න්ස්, මාකස් හැරිස්, උස්මාන් කවාජා, මානස් ලබුස්චේන්, නේතන් ලයන්, කර්ට්ස් පැටර්සන්, විල් පුකොව්ස්කි, මැතිව් රැන්ෂෝ, පීටර් සිඞ්ල් සහ මිචෙල් ස්ටාක්

 


අදහස් (0)

චන්දිමාල් ප්‍රාතිහාර්යයක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.