Last Update  :  2024-12-25 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල්ගේ ප්‍රවේගකාරි ඉනිම අපතේ යයි
ලංකා දහයයි-10 ලීගය

චන්දිමාල්ගේ ප්‍රවේගකාරි ඉනිම අපතේ යයි

editorial - 2024 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස මහනුවර බෝල්ට්ස් කණ්ඩායම සහ ගාල්ල මාවල්ස් කණ්ඩායම අතර පල්ලෙකැගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල මාවල්ස් කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 101 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල මාවල්ස් ක්‍රීඩකයෝ ඕවර 7.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. වේගවත් පිතිහරඹයක නිරත වූ ඇන්ඩි්‍ර ෆ්ලෙචර් පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.  

ලකුණු 39 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සකීබ් අල් හසන් (නොදැවී 20) සමග එක්වූ ෆ්ලෙචර් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 63 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ගාල්ල මාවල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 8 කට මුහුණදුන් සකීබ් හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසුවේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර බෝල්ට්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 100 ක් පමණි. එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් පන්දු 25 කින් ලකුණු 66 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. එහිදී ජෙෆ්රි වැන්ඩසේගේ පිට පිට පන්දු 4 කදී හතරේ පහරක් සහ හයේ පහර 3 ක් සමග ලකුණු 22 ක් රැස්කිරීමටද චන්දිමාල් සමත් විය. 

ලකුණු 5 කට කඩුලු 2 ක් දැවී යෑමෙන් අනතුරුව සෙසු ආරම්භක පිතිකරුවා වූ චන්ද්‍රපෝල් හේමරාජ් (7) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 73 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද චන්දිමාල් සමත් විය. එහෙත් චන්දිමාල් හැරුණුකොට සෙසු කිසිදු පිතිකරුවකු ලකුණු 10 සීමාව පසුකර යෑමට අපොහොසත් වීම මහනුවර කණ්ඩායමට විශාල පාඩුවක් විය. 

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ බිනුර ප්‍රනාන්දු සිය ඕවර 2 ලකුණු 9 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් වූ අතර මහනුවර කණ්ඩායම ලකුණු 100 කට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නායක මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුල්ල බැගින් දවාගත්හ. 

මහනුවර බෝල්ට්ස් පිල - ඕවර 10 කදී කඩුලු 5 කට 100 
(දිනේෂ් චන්දිමාල් 66, බිනුර ප්‍රනාන්දු 09/3) 

ගාල්ල මාවල්ස් පිල - ඕවර 7.4 කදී කඩුලු 3 කට 102 
(ඇලෙක්ස් හේල්ස් 23, ඇන්ඩි්‍ර ෆ්ලෙචර් නොදැවී 41, සකීබ් අල් හසන් නොදැවී 20, ඉමාඩ් වසීම් 21/2) 

 


අදහස් (0)

චන්දිමාල්ගේ ප්‍රවේගකාරි ඉනිම අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.