Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය දෙපිලටම අතිශයින් තීරණාත්මක තරගාවලියක් වී තිබේ. ලබන වසරේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙන්ම කොදෙව් කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලිය ජයගැනීම කෙරේ මහත් බලාපොරොත්තු රඳවා සිටිති.
සෙනසුරාදා (15 වැනිදා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේදී චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමද, හේලි මැතිව්ස් බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායමට මෙහෙයවති.
“මීළඟ (2025) ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය අපට ඉතාමත් වැදගත් තරගාවලියක්” යයි සඳුදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කියා සිටියාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සඳහා ‘ඔනර්’, ‘සන්ක්වික්’ සහ ‘නිපෝන් පේන්ට්’ යන සන්නාම එක්වන බව ප්‍රකාශයට පත්කරන ලද්දේ මෙම පුවත් පත් සාකච්ඡාවේදීය.
“මේ අවුරුද්දේ අපට එක්දින තරග 6 ක් තියෙනවා. තුනක් කොදෙව් කාන්තාවන්ට එරෙහිව, අනෙක් තුන අයර්ලන්ත කාන්තාවන්ට එරෙහිව. ඒත් ලබන අවුරුද්දේ තියෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගන්න නම් අපි අඩුගානේ මේ තරග 6 න් 5 ක් වත් දිනන්න ඕනේ”
“අපේ බලාපොරොත්තුව වෙන්නේ එක වෙලාවකට එක තරගයක් ගැන අවධානය යොමු කරලා, අපේ උපරිම හැකියාවෙන් ක්‍රීඩා කරන්නයි” යයි චමරි අතපත්තු පැවසුවාය.
කාන්තා ලෝක ශූරතාවලියේදී මේ දක්වා තරග 18 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 9 කින් පමණි. තරග 5 ක් පරාජය වී ඇති අතර තවත් තරග 4 ක් විසඳුමකින් තොරව අවසන් වීම නිසා ශ්‍රී ලංකා කාන්තාවන් සතුව ඇත්තේ ප්‍රසාද ලකුණු 14 කි. එහෙත් කොදෙව් කාන්තාවෝ තරග 15 කින් 6 ක් ජයගනිමින්, ප්‍රසාද ලකුණු 14 ක් ලබා සිටිති.
වසර 2025 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන කාන්තා ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ ශ්‍රී ලංකා කණ්ඩායම 8 වැනි ස්ථානයේත්, කොදෙව් කණ්ඩායම 7 වැනි ස්ථානයේත් සිටිති.
ශ්‍රී ලංකා සහ කොදෙව් කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 15, 18 සහ 21 යන දිනවල හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවිෂා දිල්හාරි, හංසිමා කරුණාරත්න, ඕෂධී රණසිංහ, ඉනෝෂි ප්‍රනාන්දු, ඉනෝකා රණවීර, උදේශික ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, සුගන්ධිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, කාව්‍යා කාවින්දි සහ සචිනි නිසංසලා
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා සංචිතය
හේලි මැතිව්ස් (නායිකා), ශර්මීන් කැම්බෙල්, ආලියා ඇලේන්, ශමීලියා කොනෙල්, ඇෆී ෆ්ලෙචර්, චෙරි ඈන් ෆ්රේසර්, ශාබිකා ගජ්නබී, චිනෙල් හෙන්රි, සයිදා ජේම්ස්, කියානා ජෝෂප්, චෙඩීන් නේෂන්, කරිෂ්මා රාම්හරක්, ස්ටෙෆනි ටේලර්, රෂීඩා විලියම්ස් සහ කේට් විල්මට්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.