Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වාර දෙකකදී පිතිකරුවන් අන්ද මන්ද කළ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර (63/4) සහ ළහිරු කුමාර (29/2) ඇෆ්ඝනිස්තානු පිතිකරු ලයිස්තුවේ හොඳම හරිය විනාශ කර දැමූහ. පසුව පිතිකරු ලයිස්තුවේ අග කොටස සුද්ද කළ වනිඳු හසරංගත් (07/3) දායක වෙමින් හම්බන්තොටදී අද (07 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී කඩුලු 9 ක පහසු ජයක් කරා යාමට ශ්‍රී ලංකාවට මාවත විවර කර දුන්හ. ඕවර 34 ක් ඉතිරිව තිබියදී ලකුණු 120 ක් ලබාගත් පිතිකරුවෝ, තරග 3 කින් සමන්විත තරගාවලියේදී 2-1 ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්කර දුන්හ.
මෙවර තරගාවලියේදී තමන්ට බාර දුන් භූමිකාව වන ප්‍රහාරකයාගේ කාර්යය අකුරටම ඉටුකළ පැතුම් නිස්සංක පන්දු 34 කදී ලකුණු 51 ක් ලබාගත්තේ හතරේ පහර 8 ක් සහ හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. දිමුත් කරුණාරත්න සමගින් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ පැතුම් නිස්සංක දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ලකුණු 33 ක් මෑතින් සිටියේය.
වසර දෙකකුත් මාස 3 කට පසුව එක්දින කණ්ඩායමට එක්වූ දිමුත් කරුණාරත්න, පළමු තරගයේදී අසාර්ථක වුවද ඉතිරි තරග දෙකේදී පිට පිටම අර්ධ ශතක ලබාගත්තේය. පන්දු 45 කින් නොදැවී ලකුණු 56 ක් ලබාගත් කරුණාරත්නගේ පිතිහරඹයට හතරේ පහර 7 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ඕවර 23 ක් ඇතුළතදී ලකුණු 116 කට දැවී ගියේය. පාදයේ වළලුකර ආබාධයක් හේතුවෙන් මාස 7 ක පමණ කාලයක් ජාතික කණ්ඩායමෙන් ඉවත්ව සිටි දුෂ්මන්ත චමීරගේ පන්දු යැවීම ඇෆ්ඝනිස්ථානුවන්ට මුහුණ දිය නොහැකි තරම් විය. පළමු එක්දින තරගයේදී කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් ඕවර 4 ක් පමණක් යවා පිටියෙන් ඉවත් වූ ළහිරු කුමාර අද තරගයේදී දුෂ්මන්තට කදිම සහායකයකු වූයේය.
ඇෆ්ඝනිස්ථානු ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූ මොහොමඩ් නබී, ලකුණු 23 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට ආ ගිය මං සොයාගත නොහැකි විය. තරගාවලිය ජයගැනීමට ඇෆ්ඝන් නායකයා තබා තිබූ බලාපොරොත්තු සියල්ලම දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ වනිඳු හසරංග හමුවේ දියවී ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.