Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පිලට එරෙහිව පැවැති තරගාවලියේදී කළ වැරදි වලින් පාඩම් ඉගෙන ගැනීමට ක්‍රීඩකයන් තුළ පැවැති උද්යෝගය මෙන්ම ඔවුන්ගේ සටන්කාමීත්වයත් හේතුවෙන් පාකිස්තානු පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ කණ්ඩායම් හැඟීම ඉතාමත් ඉහළ මට්ටමක පැවැති බව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කියයි.
පාකිස්තානු පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ලබාගත් 2-0 ක ජයග්‍රහණයේ පසුබිම පරාජයේ පාඩම බවද ශ්‍රී ලංකා ජයග්‍රහණයෙන් අනතුරුව චන්දිමාල් කියා සිටියේය.
යන්තම් මාස දෙකකට පෙර, ඉන්දියාවට එරෙහිව මවුබිමේදීම පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට උරුම වූයේ දරුණු පරාජයකි. ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 3-0 කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේදී 5-0 ක පරාජයක්ද විස්සයි:20 තරගාවලියේදී 1-0 ක පරාජයක්ද අත්කරගත්තේ තරගාවලියේ එකම තරගයක් හෝ ජයගැනීමට අපොහොසත් වෙමිනි.
පාකිස්තානු පිලට එරෙහිව තරගාවලිය ජයගැනීමෙන් පසුව චන්දිමාල් කීවේ ක්‍රීඩා පිටිය ඇතළත පමණක් නොව ඉන් පිටතදී පවා ක්‍රීඩකයන්ගේ ආකල්ප වෙනස්වී තිබූ බවයි.
“අපේ සතුට ඉහවහා ගිහිල්ලා....ඒ දවස්නම් අපි හැම කෙනාටම හරිම අමාරු කාලයක්. ඒත් අපි තනි තනිවත්, කණ්ඩායමක් හැටියටත් ඉන්දීය තරගාවලියෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා”
“ප්‍රධානම කාරණය තමයි අපේ ආකල්ප. ඒ නිසා විශාල වෙනස්කමක් ඇතිවුණා. සෑම කෙනෙක්ම හදවතින්ම පුහුණුවීම් කළා. ඊට පස්සේ තරගයට ආවාම ඔවුන් සාර්ථක වුණා” යයිද ටෙස්ට් නායකයකු වශයෙන් සිය පළමු වැනි තරගාවලි ජයග්‍රහණය වාර්තා කළ චන්දිමාල් කීවේය.
මෙම තරගාවලි ජයග්‍රහණය පාකිස්තානු පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලැබූ පළමු වැනි ටෙස්ට් තරගාවලි පරාජයද වෙයි. වසර 2009 දී ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර්හිදී ත්‍රස්තවාදී ප්‍රහාරකයට ලක්වීමෙන් පසුව පාකිස්තානයේදී අන්තර්ජාතික තරග පැවැත්වීම අත්හිටුවන ලද අතර පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත සියලුම ටෙස්ට් සහ එක්දින තරගාවලි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලස්ථානය පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විණ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලි ආරම්භ වූයේ 2010 දීය. එදා මෙදා තුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරගාවලි 10 කට සහභාගි වී ඇති පාකිස්තානු කණ්ඩායම පරාජය වූයේ චන්දිමාල්ගේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පමණි.
ලකුණු 317 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානු කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ අඟහරුවාදා ක්‍රීඩාව ආරම්භ කළේ කඩුලු 5 ක් අතැතිව ලකුණු 198 ක් ලබා සිටිමිනි.
සිවුවැනි දිනයේදී ලකුණු 52 කට කඩුලු 5 ක් වශයෙන් පාකිස්තානු ඉනිම කඩා වැටුණද අසාඞ් ශාෆීක් සහ නායක සර්ෆ්‍රාස් අහමඞ් දෙදෙනා විසින් හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 146 ක සම්බන්ධතාවකින් පාකිස්තානු බලාපොරොත්තු අලුත් කරනු ලැබ තිබිණ.
තත්ත්වය එසේ වූවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ධෛර්යය නොසිඳී පැවතිණ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැමදාමත් හරස්වන සර්ෆ්‍රාස් අහමඞ් දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නැවතත් තරගයට අවතීර්ණ වූහ.
අවසන් කඩුලු 5 වෙනුවෙන් පාකිස්තානු පිලට එකකතු කරගත හැකිවූයේ ලකුණු 50 ක් පමණි. ඩිල්රුවන් පෙරේරා ලකුණු 98 කට කඩුලු 5 ක් දවාගත්තේය.
“අපි දැනගෙන හිටියා ඉන්දීය පිලත් එක්ක පැවැති තරගාවලියේදී ඩිල්රුවන් ටිකක් අමාරුවෙන් පන්දු යැවූ බව. ඒත් මෙහි ආවට පස්සේ අපි එයාට කතා කරලා එයාගේ ආත්ම විශ්වාසය ඇතිකළා. එයාගේ සාර්ථකත්වයට හේතුව ඒකයි” යයිද චන්දිමාල් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දෙවැනි ඉනිමේදී ලබාගත්තේ ලකුණු 96 ක් පමණි. එහෙත් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පදනම තිබුණේ මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 220 වාසිය මතය. එම වාසිය ගොඩනැංවීමේලා ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශාලතම මෙහෙවර කළේ සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 196 ක ලබාගත් දිමුත් කරුණාරත්නයි.
පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඞ් කියා සිටියේ තමන්ට වඩා හොඳින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ බවකි.
“මා හිතන්නේ අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ....ඒත් ශ්‍රී ලංකා කණ්ඩායම අපට වඩා ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා” යයි පැවසූ පාකිස්තානු නායකයා....
“මා හිතන්නේ අපට වැරදුණේ පිතිහරඹයෙන්. අපි කිසිවෙක් විශාල ඉනිම කරා ගියේ නෑ. අප තරගාවලිය පැරදුණේ ඒ නිසයි” යයිද සර්ෆ්‍රාස් අහමඞ් පැවසීය. සර්ෆ්‍රාස් අහමඞ් පාකිස්තානු නායකත්වය දැරූ පළමු වැනි තරගාවලියද මෙයයි.
“මම වුණත් නායකයෙක් හැටියට පාඩමක් ඉගෙන ගන්න ඕනෑ”
“අපි මේ තරගාවලියේදී වැරදි කීපයක්ම කළා. ඒත් මේක නායකයෙක් වශයෙන් මගේ පළමු තරගාවලිය. අමාරුයි තමා. ඒත් ඒවායින් ඉගෙන ගන්න දේවල් තියෙනවා” යයිද අහමඞ් පැවසීය.
තමන් දඟ පන්දු යවන්නන් දෙදෙනකු සමගින් ක්‍රීඩා නොකිරීම පිළිබඳව නම් පාකිස්තානු නායකයා විස්සෝප නොවූයේය.
“ඕන කෙනෙකුට කියන්න පුළුවන් අපි දඟ පන්දු යවන්නන් දෙදෙනකු එක්ක ක්‍රීඩා කරන්න තිබුණා කියලා. ඒත් ඇත්තටම අපේ ප්‍රශ්න තිබුණේ පිතිකරුවන් සම්බන්ධයෙන්. අනෙක් අතට අපේ පන්දු යවන්නන් අතර වැඩි අත්දැකීම් තිබුණෙත් වේග පන්දු යවන්නන්ට” යයිද අමහඞ් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.