Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය හෙට (20 වැනිදා) සිට ලබන 23 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී 20 වැනිදා සිට 22 වැනිදා දක්වා පස්වරු 3.00 සිට මූලික වටයේ තරග පැවැත්වෙන වන අතර 23 වැනිදා 2.30 සිට අවසන් මහ තරග පැවැත්වීමට නියමිතය.
වයස අවුරුදු 19 ත් 40 ත් අතර පසුවන ආධුනික, අතරමැදි, ස්ටැබ්ස් පළිහ සහ ජාතික කණිෂ්ට යන බොක්සිං තරගාවලිවලදී ජයග්‍රහණ ලැබූ තරගකරුවෝ පමණක් මෙම තරගාවලියට සහභාගි වෙති. ඒ අනුව මේ වසරේදී ක්‍රීඩා සමාජ 15 ක් නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වී සිටින පිරිමි සහ කාන්තා තරගකරුවන් සංඛ්‍යාව 115 කි.
යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී පිරිමි අංශයේ සෑම බර පංතියක් සඳහාම ක්‍රීඩකයන් ඉදිරිපත් කර ඇති අතර කාන්තා අංශයේ සෑම බර පංතියක් සඳහාම ක්‍රීඩිකාවන් ඉදිරිපත් කර ඇත්තේ යුනිචෙලා ක්‍රීඩා සමාජය පමණි.
මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම බර පංති 10 ක් යටතේ තරග පැවැත්වේ. සෑම තරගයක්ම විනාඩිය බැගින් වූ වට 3 කින් සමන්විත වන අතර සෑම තරග වටයක් පාසාම තරගකරුවන්ට විනාඩියක විවේක කාලයක් හිමිවේ.
එහිදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම පරාජිතයා, දක්ෂතම ක්‍රීඩිකාව සහ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව සඳහාද කුසාලන පිරිනැමීමට නියමිතය.
ඉකුත් වසරේ (2017) පැවැති ජාතික බොක්සිං ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස යුද හමුදාවේ පී.ඩී.ඩී. මධුරංගද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස යුනිචෙලා ක්‍රීඩා සමාජයේ අනූෂා කොඩිතුවක්කුද සම්මාන දිනාගත්හ. කෙසේ වුවත් මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කාන්තා බොක්සිං ශූරතාවලියට සහභාගි වී සිටීම හේතුවෙන් අනූෂාට මෙවර ජාතික බොක්සිං ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව මඟහැරී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.