Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික ඔරු පැදීමේ තරගාවලිය හෙට සිට

ජාතික ඔරු පැදීමේ තරගාවලිය හෙට සිට

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔරු පැදීමේ තරගාවලිය හෙට (21දා) සිට 23 දින දක්වා රාජගිරිය දියවන්නා ඔයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා ආධුනික ඔරුපැදීමේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය වසරේ ප්‍රධානතම ඔරු පැදීමේ තරගාවලියයි.

ආධුනික ඔරුපැදීමේ සංගමය විසින් ජාතික ඔරුපැදීමේ තරගාවලියක් දියවන්නා ඔයේදී පවත්වනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර ඉදිරියේදී එය ඔරු පැදීමේ තරග සඳහා ප්‍රධානතම ස්ථානයක් බවට පත්කිරීම ඔරු පැදීමේ සංගමයේ අපේක්‍ෂාවයි.

දින තුනක තරගාවලියක් වන ජාතික ඔරුපැදීමේ තරගාවලියට දැනටමත් ක්‍රීඩකයෝ සහ ක්‍රීඩිකාවෝ 350 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්වී සිටිති. තරග නිලධාරින් සහ කාර්ය මණ්ඩලය සමග ගත් විට දියවන්නා ඔරුපැදීමේ මධ්‍යස්ථානය 1000 කට අධික පුද්ගලයන් පිරිසකගෙන් පිරි යනු ඇත. මේ අවශ්‍යතා සපුරාලීම සඳහා එම ස්ථානයේ කූඩාරම් ගණනාවක් ඉදි කිරීමට ඔරු පැදීමේ සංගමය කටයුතු කර ඇත්තේ එහි ස්ථීර ගොඩනැඟිලි තවමත් ඉදිකෙරෙමින් පවතින බැවිනි. එසේවුවත් ක්‍රීඩකයන්ට, ඔවුන්ගේ ඔරුවලට සහ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් දැනටමත් එහි ස්ථාපිත කර තිබේ.

ජාතික ඔරුපැදීමේ තරගාවලියේ සංවිධායක කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන සිතිර වික්‍රමසේකර මහතා පවසා සිටියේ  අන්තර්ජාතික තරග කොන්දේසිවලට අනුව මේ තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බවයි. දියවන්නා ඔයේ ඔරු පැදීමේ තරග සඳහා මීටර් 2000 ක දුර ප්‍රමාණයක මංතීරු හතරක්  භාවිතා කෙරේ.

මෙම තරගාවලියට තරග ඉසව් 72ක් ඇතුළත්ය. සැම තරගයක්ම දියත උයන ආශ්‍රිතව ආරම්භ කෙරෙන අතර රාජගිරිය දෙසින් දියවන්නා ඔයේ ඔරුපැදීමේ මධ්‍යස්ථානය අසළින් නිමාවට පත්වන්නේ කිලෝමීටර් 2 ක දුරක් සම්පූර්ණ කරමිනි.

ත්‍රිවිධ හමුදා, ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල, රාජ්‍ය සහ පුද්ගලික අංශයේ කණ්ඩායම් මෙන්ම සහ ජාත්‍යන්තර පාසල් ආදි කණ්ඩායම් 17 ක් මෙවර තරගාවලියට එක්වී සිටිති. එසේ වුවත් මේ තරගාවලියට බලසම්පන්න අනුග්‍රහකයකු ඉදිරිපත් නොවීම කැපී පෙනේ.

ජාතික ඔරුපැදීමේ තරගාවලිය ශ්‍රී ලංකා ඔරුපැදීමේ සංගමයේ වාර්ෂික තරග කැලැන්ඩරයේ අවසන් ප්‍රධානතම තරගාවලිය වේ.


- 077

 


අදහස් (0)

ජාතික ඔරු පැදීමේ තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.