Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජීවන්ගේ ඇතුළත් වීම මට නම් පුදුමයක් - මුරලි

ජීවන්ගේ ඇතුළත් වීම මට නම් පුදුමයක් - මුරලි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට පිවිසි 2007 දී සහ 2011 වසර වලදී ආරම්භක පිතිකරුවකු ලෙසින් කී‍්‍රඩා කළ උපුල් තරංග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රබල සාමාජිකයෙක් වූයේයැයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පවසයි.

එක් දින ජාත්‍යන්තර තරග වලදී ලකුණු 34 කට මදක් අඩු සාමාන්‍යයක් පවත්වා ගත් තරංග පළපුරුදු දක්ෂ කී‍්‍රඩකයෙකි. ඔහු තරග 176 ක ක‍්‍රීඩා කර ඇත. 2015 අයි සී සී ලෝක කුසලාන තරගයට නම් කර ඇති ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙකු ගැන මට ඇත්තේ පුදුමයකි. ඒ ආරම්භක ක‍්‍රීඩකයෙකු වන උපුල් තරංග නොමැතිවීම සහ ජීවන් මෙන්ඩිස් දඟ පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකු ලෙස ඇතුළත්විමය.

ලෝක කුසලාන සංචිතයට තරංග ඇතුළත් නොවීම මට නම් මහත් පුදුමයකි.

එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියට හෝ නවසීලන්ත සංචාරයට තරංග ඇතුළත් කර නොගත් නමුත් එක් දින අන්තර්ජාතික තරගවල දී ලකුණු 34 ට මදක් අඩුු සාමාන්‍යයක් පවත්වා ගන්නා තරංග පළපුරුදු කී‍්‍රඩකයෙකි. ඔහු එක්දින තරග 176 කට ක‍්‍රීඩා කර ඇත.

තරංග වසර 2007 දීත් 2011 දීත් ලෝක කුසලාන කණ්ඩායම් දෙකේම සාමාජිකයෙක් වූයේය. ඒ අවස්ථා දෙකේදීම අපි අවසාන තරගයට පිවිසියෙමු. 2011 වසරේ ලෝක කුසලාන තරගවලදී ඔහු සිම්බාබ්වේ සහ එංගලන්ත කණ්ඩායම්වලට එරෙහිව ලබා ගත් ශතක සමග ලකුණු 395 ක් වාර්තා කෙළේය. ඔහුගේ පහර දීමේ වේගය හෙවත් පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව 84 කට ආසන්නය.

පසුගිය නොවැම්බරයේදී හදිසියේම සංවිධානය කෙරුණු කළ ඉන්දියානු සංචාරයට ද ඔහු ඇතුළත්ව සිටියේය. දැනට ආරම්භක පිතිකරුවෙකු ලෙස තෝරා ගෙන සිටින දිමුත් කරුණාරත්න වෙනුවට මා වඩාත් කැමති වන්නේ තිලකරත්න දිල්ෂාන් සමග ආරම්භක පිතිකරුවෙකු වශයෙන් උපුල් තරංග පිටියට පිවිසෙනු දැකීමටයි. ඒ වෙනුවෙන් ජීවන් මැන්දිස් ඉවත් වෙනු දැකීමට මම කැමැත්තෙමි.

මෙන්ඩිස් සම්බන්ධයෙන් මගේ කිසිම අකමැත්තක් නැත. ආසියානු කලාපයේ පවත්වන තරග මාලාවකදී නම් පා දඟ පන්දු යවන්නෙකු, ඉක්මන් ලකුණු ලබාගන්නා හුරුබුහුටි පිතිකරුවෙකු සහ දක්‍ෂ පන්දු රකින්නකු වශයෙන් ඔහුට අගනා මෙහෙවරක් කළ හැකිය.

එහෙත් දඟ කැවීම සාධකයක් විය නොහැකි පිටියකදී සහ රංගන හේරත් සහ සචිත‍්‍ර සේනානායක වැනි දඟ පන්දු යවන්නන් දෙදෙනාත්, තිලකරන් ඩිල්ෂාන් වැනි කඩින් කඩ යොදා ගත හැකි අයෙකුත් සිටියදී ජීවන්ගේ අවශ්‍යතාවය කුමක්දැයි සිතා ගත නොහැකිය. එය වෙනත් කෙනෙකුගේ අවස්ථාවක් අහිමි කිරීමක්ද විය හැකිය.

කරුණාරත්න කුසලතා සපිරි ක‍්‍රීඩකයෙකි.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය ඇසුරිනි

එහෙත් ලෝක කුසලාන තරගාවලයේදී ඔහු අසමත් වුවහොත් තරංග වැනි විකල්පයක් නැතිනම්, දිල්ෂාන් සමග ආරම්භක පිතිකරුවෙක් වශයෙන් පිටියට යෑමට මහේල ජයවර්ධනට සිදු විය හැකිය.

පසුගිය වසරේ එංගලන්ත සංචාරයේ අග භාගයේ දී මෙම කාර්ය ඉටු කළත් අලූත් පන්දුවට මුහුණ දිමට වඩා මහේල වඩාත් ප‍්‍රයෝජනවත් වන්නේ මැද භාගයේදී සහ ඉනිමක අවසාන  ඕවර වලදීය. එසේ වන්නේනම් කුමාර් සංගක්කාර, මහේල සහ ඇන්ජලෝ මැතිව්ස් මැද පෙළ පිතිකරුවන් වශයෙන් තරගාවලියේ  ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් වනු ඇත.

පසු ගිය වසරේ සිදු වූ පාදයේ ආබාධයකින් සුවය ලබමින් සිටින වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ගත් තීරණයට මම එකඟ වෙමි.

තරග දිනන්නෙකු වන මාලිංග, මහේල හා කුමාර් මෙන් ඔස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ පිටියේ තත්වයන් මැනැවින් තේරුම් ගත් ක‍්‍රීඩකයෙකි. ලෝක කුසලාන තරගාවලියේ අවසන් වරට ක‍්‍රීඩා කරන ඔහු තුළ කැපී පෙනෙන ජවයක් තවම පවතියැයි මමද සිතමි. ලසිත් මාලිංගද 2007 දී සහ 2011 දී කණ්ඩායමේ අවසාන මහ තරගය දක්වාම ක‍්‍රීඩා කළ අයෙකි.

පෙබරවාරි 14 වැනිදා ක‍්‍රයිස්චර්ච්හිදී (නවසීලන්ත පිලට එරෙහිව) පැවැත්වෙන ආරම්භක තරගයට ක‍්‍රීඩා කිරීමට මාලිංග සුවය නොලැබුවත් ඔහු රඳවා ගැනිම ප‍්‍රයෝජනවත් වන්නේ පසුව පැවැත්වෙන තරගවලදී ඔහුට අගනා මෙහෙයක් ඉටු කිරීමේ හැකියාව තිබෙන නිසාය.  

තේරුම්ගත නොහැකි දඟ පන්දු යවන්නකු වන අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත්ව නැත්තේ හේරත් හෝ සේනානායකට වඩා දක්ෂතාවයක් පෙන්වීමට නොහැකි වූ හෙයිනි. තේරීම් කමිටුවේ එම තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදිය. පිතිකරු කුසල් ජනිත් පෙරේරා ගැනද කිව යුත්තේ එයයි. ඔහු කුසලතා පූර්ණ ක‍්‍රීඩකයෙකු වුවත් ඒ තත්වය නොකඩවා පවත්වා ගැනීමේ දක්ෂතාවය තවමත් පෙන්නුම් කර නැත.

තරංග නොසලකා හැර ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් කර ගැනීම හැරුණවිට කණ්ඩායමේ සමබරතාවය මැනැවින් රැක ඇත. මෙවර ශී‍්‍ර ලංකා කණ්ඩායම පළපුරුදු, දක්ෂතාවලින් පිරි, විශේෂයෙන්ම පන්දුවට පහර දීම අතින් ශක්තිමත් කණ්ඩායමකි. මෙවැනි දීර්ඝ තරගාවලියකට මුහුණ දීමට සියලූ දෙනාම මනා සෞඛ්‍ය තත්වයක් පවත්වා ගන්නේනම් අඩුම වශයෙන් පසුගිය ලෝක කුසලාන තරගාවලි දෙකේදී ශ‍්‍රී ලංකාව දැක් වූ සමත්කම් මෙවර දැක්වීමට නොහැකිවීමට හේතුවක් නැත.

2014 බංග්ලාදේශයේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක මට්ටමේ තරග ජය ගැනීමට හැකියාවක් ඇති බවට විශ්වාසයක් හා ධෛර්යක් හිමි විය. එවැනි පසුබිමක 1996 නැවත වරක් ප‍්‍රතිනිර්මාණය කළ හැකිනම් සැබැවින්ම සුවිශේෂී තත්වයකි.


අදහස් (9)

ජීවන්ගේ ඇතුළත් වීම මට නම් පුදුමයක් - මුරලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.