Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොකොවික්ට ලෝක වාර්තාව අහිමි වෙයි

ජොකොවික්ට ලෝක වාර්තාව අහිමි වෙයි

editorial - 2024 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසර (2024) තුළ පැවැති තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ටෙනිස් තරගාවලිය වූ විම්බල්ඩන් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤයේ කාර්ලෝස් ඇල්කරස් සමත් විය. අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස සර්බියාවේ නොවැක් ජොකොවික් පරාජයට කරමින් ඔහු එම ශූරතාවට හිමිකම් කීවේය. 

තවමත් 21 වැනි වියේ පසුවන ඇල්කරස් දිනාගත් සිවුවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙය විය. මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන ඔහු මින් පෙර 2022 වසරේ ඇමරිකානු විවෘත ශූරතාව, 2023 වසරේ විම්බල්ඩන් ශූරතාව සහ 2024 වසරේ ප්‍රංශ විවෘත ශූරතාව දිනා ඇත. 

මෙම තරගයේදී පරාජයට පත්වීමත් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 25 ක් දිනාගනිමින් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්වීමේ තනි අයිතිය තමන් සතුකර ගැනීමට තිබූ අවස්ථාව ජොකොවික්ගෙන් ගිළිහී ගියේය. 

මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24 ක් දිනා සිටින ජොකොවික්, ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා ලෙස ඕස්ටේ්‍රලියාවේ මාගරෙට් කෝට් සමග සම මට්ටමේ පසුවේ. එබැවින් මෙවර විම්බල්ඩන් ශූරතාව දිනාගත්තා නම් ඔහුට මාගරෙට් පසුකර යෑමට අවස්ථාව තිබිණ. 

1960 වසරේ සිට 1977 වසර දක්වා වෘත්තීය මට්ටමේ ටෙනිස් ක්‍රීඩිකාවක ලෙස ක්‍රීඩා කළ මාගරෙට්, ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24 ක් දිනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 11 ක්, ප්‍රංශ විවෘත ශූරතා 5 ක්, ඇමරිකානු විවෘත ශූරතා 5 ක් සහ විම්බල්ඩන් ශූරතා 3 ක් සමගිනි.

ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 10 ක්, විම්බල්ඩන් ශූරතා 7 ක්, ඇමරිකානු විවෘත ශූරතා 4 ක් සහ ප්‍රංශ විවෘත ශූරතා 3 ක් ජොකොවික්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගොන්නට අයත්වේ. එහෙත් මෙම වසරේදී මෙතෙක් පැවැති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලි 3 න් එකකදී හෝ ශූරතාවක් දිනාගැනීමට ඔහු අපොහොසත් විය. 

කෙසේ වුවත් මාගරෙට් පසුකර යමින් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා බවට පත්වීම සඳහා ජොකොවික්ට මෙම වසරේදී තවත් එක් අවස්ථාවක් හිමිවනු ඇත. ඒ එළබෙන අගෝස්තු මස 26 වැනිදා සිට සැප්තැම්බර් මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ඇමරිකානු විවෘත තරගාවලියේදීය. 

-036


අදහස් (0)

ජොකොවික්ට ලෝක වාර්තාව අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.