Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය කිසිදු කප්පාදුවකින් තොරව පැවැත්වීමට තමන් සූදානමින් සිටින බව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ජොනී ග්‍රේව් මහතා පවසයි. ජොනී ග්‍රේව් මහතා බටහිර ඉන්දීය දූපත් සමූහයේ පළවන ‘දනේෂන්’ පුවත් පතට එසේ ප්‍රකාශ කර තිබේ.
කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණපා සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 කට සීමා කිරීමට කොදෙව්වෝ සූදානම් වූහ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ යම් හෙයකින් තරගාවලියෙන් ටෙස්ට් තරගයක් ඉවත් වුවහොත් ඒ වෙනුවට එක්දින තරග දෙකක් හෝ විස්සයි-20 තරග 3 ක් පැවැත්වීමට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර සාකච්ඡා පැවැති බවයි.
මේ දිනවල කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටින බව පිළිගත් ජොනී ග්‍රේව් මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - කොදෙව් තරගාවලියේදී මෙන්ම බංග්ලාදේශ - කොදෙව් තරගාවලිදීත් තමන්ට සෑහෙන මූල්‍ය පාඩුවකට මුහුණ දීමට සිදුවන බවයි.
“ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලි දෙක සංවිධානය කිරීමෙන් අපිට සැලකිය යුතු පාඩුවක් සිදුවෙනවා තමයි. පසුගිය වසර 3 පුරා දිගින් දිගටම තරගාවලි තිබුණ නිසා අපට ලාභයක් ලැබුණා වුණත් ඒ ලාභයෙන් මේ වසර ගෙවාගන්න අපට පුළුවන් කමක් නෑ”
“2018 වසර අමාරු එකක් කියා අප දන්නවා. ඒත් ලබන වසරේදී ඉන්දියාව සහ එංගලන්තය මෙහි එන නිසා අපට වඩා හොඳ ආදායමක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්...ඒ කොහොම වුණත් ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලිවල සංයුතිය වෙනස් කරන්නවත්, තරග අඩු කරන්නවත් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ” යැයිද එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ට්‍රිනිඩෑඞ්හිදීද, දෙවැන්න ශාන්ත ලුසියාහිදීද පැවැත්වෙන අතර දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ බාර්බඩෝස්හිදීය.
තරගාවලිය ආරම්භ වීමට පෙර කොදෙව් දෙවන පෙළ කණ්ඩායමක් සමග ට්‍රිනිඩෑඞ්හිදී තෙදින පුහුණු තරගයකට සහභාගී වීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට ලැබී තිබේ.
තරග කාල සටහන
පුහුණු තරගය - මැයි මස 30 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා ට්‍රිනිඩෑඞ්හිදී (බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය)
පළමු ටෙස්ට් තරගය - ජූනි මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා ට්‍රිනිඩෑඞ්හිදී (ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණය)
දෙවැනි ටෙස්ට් තරගය - ජූනි මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා ශාන්ත ලුසියාහිදී (ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණය)
තෙවැනි ටෙස්ට් තරගය (දිවා-රාත්‍රී) - ජූනි මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා බාර්බඩෝස්හිදී (කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණය)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.