Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පැය 16 කදී කඩුලු 40 ක්. ආසන්න වශයෙන් විවේක කාල දෙකක් අතරේ කඩුලු 5 ක් බිඳ වැටුණ තණතීරුවක් මත, ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී ලකුණු 352 ක් හඹා යාම සෙල්ලමක් නොවේ. එහෙත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම අභියෝගය බාරගත් දකුණු අප්‍රිකාව පරදවා ලකුණු 278 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ගාල්ල ක්‍රීඩාංගණයේදී අද ලබාගත් මෙම ජයත් සමගින් ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේදී පරාජය කළ නොහැකි ස්ථාවරයකට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
අපේක්‍ෂිත ප්‍රතිඵලය පැහැදිළිවම පෙනෙන්නට තිබියදීත් ලැබෙන යමක් ලබාගැනීමේ අරමුණ ඇතිව වනන්නන් වාලේ පිති වැනූ දකුණු අප්‍රිකානුවෝ සිය ටෙස්ට් ඉතිහාසයේ තුන්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 73 කට දැවී ගියහ.
මෙම ලකුණු 73, වර්ණභේදවාදය සිය ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් අකාමකා දැමීමෙන් පසුව 1991 දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියට නැවත පිවිසීමෙන් පසු දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් ඉනිමකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වේ. එහි පැරණි වාර්තාව වූයේ වසර 2015 දී නාග්පූර්හිදී ඉන්දියාව හමුවේ ලකුණු 79 කට දැවී යාමයි.
කෙසේ වෙතත් 1896 දී දකුණු අප්‍රිකාවේ පෝර්ට් එළිසබෙත් නුවරදීත්, 1924 දී එංගලන්තයේ බර්මින්හැම් නුවරදීත් දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම් ලකුණු 30 කට දැවී ගොස් තිබිණ.
දකුණු අප්‍රිකානුවන් මෙවන් අමාරුවක දැමීමේදී අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩිල්රුවන් පෙරේරා තමාගේ තරග 30 ක ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 32 කට කඩුලු 6 ක් දවාගත්තේය. දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ආරම්භ කළ අවස්ථාවේ සිට ඉනිම අවසන් වන තුරු නොකඩවා පන්දු යැවූ ඩිල්රුවන් මෙම තරගයේදී ලකුණු 78 කට කඩුලු 10 ක් දවාගනිමින් සිය ටෙස්ට් කඩුලු මල්ල 119 ක් දක්වා තර කරගත්තේය.
තරගයේ තුන්වැනි දිනය වූ අද දිවා ආහාරයෙන් පසුව පැයක කාලයක් තුළදී යැවුණු ඕවර 15 කදී ලකුණු 47 කට කඩුලු 6 ක් බිම දැමූ ඩිල්රුවන් පෙරේරා (29/4) සහ රංගන හේරත් (21/2) තරගයේ තාලය සම්පූර්ණයෙන්ම තමන්ට ඕනෑ හැටියට වෙනස් කළහ. එතැන් සිට දිගටම පන්දු යැවීමේ යෙදුණු මෙම ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් දෙදෙනා තරගය නිමා කළේ දෙවැනි ඉනිමේදී බිඳවැටුණු කඩුලු 10 න් 9 ක් බෙදාහදා ගනිමිනි.
මේ වන විට 40 වැනි වියේ සිටියද එක දිගට ඕවර 14 ක් යැවූ රංගන හේරත් ලකුණු 38 කට කඩුලු 3 ක් දවාගැනීමෙන් පසු පන්දුව අතට ගත් ලක්ෂාන් සඳකැන්ට අවසන් කඩුල්ල දවාගනිමින් තරගය නිමා කිරීමට අවශ්‍ය වූයේ පන්දු 5 ක් පමණි. තබ්රේෂ් ශම්සි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් ලක්ෂාන්ගේ ඉල්ලීම විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළ නමුත් ඒ වන විට ඉතිරිව තිබූ එකම විතීවි අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තේ පානයට විනාඩි 13 ක් තිබියදීම තරගය අවසන් කළහ.
ගාල්ල තණතීරුව සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළකර ඇති නමුත් සිදුවූයේ කුමක්ද යන්න වටහා ගැනීමට තරගය නැරඹීමෙන් මිස අන් ක්‍රමයක් නැත. දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිම දෙකේදීම කඩුලු 20 ම බිඳ වැටුණේ ඔවුන්ගේම දුර්වල පහර තෝරා ගැනීමත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විශිෂ්ට පන්දු යැවීම සහ අග්‍රගණ්‍ය පන්දු රැකීමත් නිසා මිස තණතිරුවට වතුර මතුරා තිබූ නිසා නොවේ.
දිමුත් කරුණාරත්න මුල් ඉනිමේදී නොදැවී ලකුණු 158 ක් මෙන්ම දෙවැනි ඉනිමේදී ලකුණු 60 ක් ලබාගත්තේත් මේ තණතීරුවේදීමය. පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කරන නමුත් සුරංග ලක්මාල් දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 33 ක් සහ වර්නන් ෆිලැන්ඩර් ඉනිම දෙකේදීම ලකුණු 40 ක් ලබාගත්තේත් මෙම තණතීරුවේදීමය.
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගියේ ස්ටම්ප් කිරීමට හසුවීමෙනි.
පළපුරුදුම පිතිකරුවන් දෙදෙනා වන හිටපු නායක හසිම් අම්ලාත් වත්මන් නායකයා වන ෆෆ් ඩු ප්ලෙසිත් දැවී ගියේ පිළිවෙලින් ධනංජය ද සිල්වාට සහ ඇන්ජලෝ මැතිව්ස්ට උඩපන්දු පිරිනැමීමෙනි.
කේෂව් මහාරාජ්ගේ පහරකින් ඉගිළුනු පන්දුව ලකුණු 6 ක් සොයා යද්දී හතරේ සීමාව ආසන්නයේ සිටි ලක්ෂාන් සඳකැන්ගේ විශිෂ්ට උඩපන්දු රැකීමකින් දකුණු අප්‍රිකානුවාගේ ඉනිම නිමා විය. ඉන් අනතුරුව පන්දුව නිදැල්ලේ යාමට හැරීමෙන් කගීසෝ රබාඩා සිය දෙවැනි ඉනිම අවසන් කරගත් අතර 87 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඬේල් ස්ටේන් සිය කඩුල්ල රංගන හේරත්ට පූජා කළේය.
ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුවත් එහි දඟ කැවීමත් සම්බන්ධයෙන් විචිකිච්චාවක් ඇති අයකුට කිව හැක්කේ එකම කාරණයකි.
දිමුත් කරුණාරත්න මෙම තරගයේදී තනිවම ලකුණු 218 ක් ලබාගත්තේය. එහෙත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරුවන් 11 දෙනකු එක්ව ඉනිම දෙකේදීම ලබාගත්තේ ලකුණු 199 ක් පමණි.
තණතීරුවේ සගවුණු කතාව ඇත්තේ එතැනය.
ශ්‍රී ලංකා - ද. අප්‍රිකා පළමු ටෙස්ට් තරගය - තෙවැනි දිනයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.