Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිජොකෝවික් ප‍්‍රංශ ශූරතාව සොයා ඇදෙයි

ඩිජොකෝවික් ප‍්‍රංශ ශූරතාව සොයා ඇදෙයි

Dilrukshi - 2015 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක‍්‍රීඩක සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් අද (7) ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට පැරිස්නුවර රෝලන්ඞ් ගැරෝස් ටෙනිස් පිටියේ දී ස්විට්සර්ලන්තයේ ස්ටැනිස්ලස් වර්වින්කා සමග ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට සටන් වදී.

මේ දක්වා ඔස්ටේ‍්‍රලියානු විවෘත, අමෙරිකානු විවෘත හා විම්බල්ඩන් ශූරතා දිනා ඇති ඩිජොකෝවික් ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියක් ජයගෙන නැත. එබැවින් ඩිජොකෝවික් ඇසගසාගෙන සිටින එකම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව වන්නේ ප‍්‍රංශ විවෘත ශූරතාවලියයි.

එබැවින් අද තරගය වර්වින්කාට කෙසේවූවත් ඩිජොකෝවික්ට නම් ඔහුගේ ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් සටහන් කෙරෙන තරගයකි.

28 හැවිරිදි මේ සර්බියානු ක‍්‍රීඩකයාට ප‍්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනාගැනීමට හැකිවුවහොත් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා හතරම සම්පූර්ණ කළ ලොව 8 වැනි ක‍්‍රීඩකයා බවට පත්වනු ඇත. ඩිජොකෝවික් මෙතෙක් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 7 ක් දිනා සිටින අතර ඊට ඔස්ටේ‍්‍රලියානු විවෘත ශූරතා 4 ක්, විම්බල්ඩන් ශූරතා 2 ක් සහ අමෙරිකානු විවෘත ශූරතාවක් ඇතුළත්ය.
මෙම ඓතිහාසික ජයග‍්‍රහණය හඹා යන ඩිජොකෝවික් ඊයේ පැවැති අවසන් පූර්ව වටයේ දී බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේගෙන් බේරුණේ නූලෙනි.

පෙරේදා රෝලන්ඞ් ගැරෝස් පිටියට අකුණු කුණාටු වරුසාවක් පතිතවීම නිසා තාවකාලිකව නතර කළ එම තරගය ඊයේ පස්වරුවේ නතර කළ තැනින් නැවත පටන්ගත්තේය.  ඒ වෙද්දී ඩිජොකෝවික් පළමු වට දෙකම ජයගෙන  සිටියේය. එහෙත් පරාජය පහසුවෙන් බාර නොගන්නා මරේ තුන්වැනි හා සිවුවැනි වට ලකුණු 5-7 ක් සහ 5-7 ක් ලෙස ජයගනිමින් ඩිජොකෝවික් දැඩි පීඩනයකට ඇද දැමුවේය.

ඒ මොහොතේ පෙනෙන්නට තිබුණේ 2013 වසරේ විම්බල්ඩන් අවසන් මහා තරගයේ දී ඩිජොකෝඩික් පරාජය කොට ශූරතාව දිනූ මරේගේ මේ විස්මිත ප‍්‍රහාරයෙන් සර්බියානුවාගේ අපරාජිත ගමන නිමාවට පත්වන බවකි.
සෑහෙන කාලයකට පසුව ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියක පිරිමි අවසන් පූර්ව තරගයක් තරග වට 5 ක් දක්වා ඇදී ගිය අතර පස්වැනි වටයේ දී යළි සාර්ථකව තරගයට අවතීර්ණ වූ ඩිජොකෝවික් 6-1 කින් මරේ පරදවා අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

මෙවර රෝලන්ඞ් ගැරෝස් පිරිමි අවසන් තරගය ඩිජොකෝවික් සහ විශිෂ්ට ක‍්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් අතර පැවැත්වෙනු ඇති බවට තරගාවලියට පෙර පළවූ අනාවැකි සියල්ල බිඳ දමා අවසන් තරගයට එක්වූ පසුගිය වසරේ ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරයා වූ වර්වින්කා අඩු තක්සේරු නොකිරීමට ඩිජොකෝවික් වග බලාගන්නාතුරු පරාජය ඔහුට අත වනනු ඇතැයි ටෙනිස් විචාරකයෝ කියති.

ප‍්‍රංශ ටෙනිස් තරගාවලි ඉතිහාසයේ වර්වින්කා ගැන වැඩි පුර යමක් ලියැවී නොතිබුණත් මෙවර අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඔහු ලොව අංක දෙකේ ක‍්‍රීඩක ෆෙඩරර් පරාජයට පත් කිරීම කාගෙත් නළල රැුළිගැන්වූ සිදුවීමක් වී තිබිණි.
එය වර්වින්කා සිය රටේහිම ප‍්‍රතිවාදියා පරාජය කළ පළමු අවස්ථාව ද විය. එබැවින් ඩිජොකෝවික් හමුවේ ඇත්තේ සුළුපටු අභියෝගයක් නොවන බව කවුරුත් දනිති. ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා හතර සම්පූර්ණ කරගැනීමට ඩිජොකෝවික්ට ඇති සිහිනය රඳා පවතින්නේ අද හවස වර්වින්කා ර`ග දක්වන භූමිකාව මත බව නම් ඉඳුරාම පැවැසිය හැකිය.

- 077

 


අදහස් (0)

ඩිජොකෝවික් ප‍්‍රංශ ශූරතාව සොයා ඇදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.