Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වසර හතරක් වැනි කෙටි කලක් ඇතුළත, හම්බන්තොට දිස්ත්රික් කණ්ඩායමේ සිට ජාතික කණ්ඩායම දක්වා දිගු ගමනක් පැමිණි ඩිල්ෂාන් මධුශංක, දැන් ටෙස්ට් දොරටුවට තට්ටු කරමින් සිටී. වමත් වේග පන්දු යවන්නකු ලෙසින් විස්සයි-20 සහ එක්දින හිස්වැසුම් දෙකම දිනාගෙන සිටින මධුශංක, පාකිස්තානයට එරෙහිව ක්රීඩා කළත්, නොකළත්, ටෙස්ට් තරග දෙකකින් සමන්විත සංචිතය සඳහා ඇතුළත්ව සිටීම, සෙසු වේග පන්දු යවන්නන්ගේ ගත හිරිගඩු නැංවීමකි.
තවමත් 22 හැවිරිදි වමත්කාරයා, ටෙස්ට් සංචිතය එක්වී ඇත්තේ අසිත ප්රනාන්දුට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙනි.
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2023-2025 චක්රයේ ශ්රී ලංකාව මෙන්ම පාකිස්තානයද සහභාගි වන පළමු වැනි තරගාවලියයි. තරගාවලියේ පළමු තරගය ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී ඉරිදා (16 වැනිදා) ආරම්භ වෙයි.
නවසීලන්තයේදී පැවැති තරගාවලිය නිමාවේදී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට ඉල්ලා සිටි දිමුත් කරුණාරත්න මෙම තරගාවලියේදීත් ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින්ම රැඳී සිටී. එහෙත් තරගාවලිය ආරම්භයේදීම ශ්රී ලංකා පිලේ උපනායකයා වශයෙන් ධනංජය ද සිල්වා පත්කර තිබේ.
අසනීපවීම නිසා කණ්ඩායමෙන් ඉවතට ගිය පැතුම් නිස්සංක නැවතත් කණ්ඩායමට කැඳවා සිටින බැවින්, වඩාත් බරපතළ ප්රශ්නය වී ඇත්තේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා කවුරුන්ද යන්නයි. කෙසේ වෙතත් නායක දිමුත් කරුණාරත්නගේ කලව මස්පිඬුවේ ආබාධය සුව අතට හැරී තිබේ නම්, මෙම තරගයේදීත් නිශාන් මධුෂ්කටම ආරම්භක පිතිකරුවාගේ භූමිකාව හිමිවීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. අයර්ලන්තයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක තමන්ගේ තරම තහවුරු කළේ එක තරගයකින් නොව, එක දිගට පැවැති තරග වැලකිනි.
මැද පෙළ පිළිබඳ එහෙමට අර්බුදයක් නැත. කුසල් මෙන්ඩිස් සිය අවසන් ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් (245 යි) ලබාගත් අතර පසුගියදා තාවකාළිකව නතර කළ පළමු පෙළ තරගාවලියේ තරග තුනේදී කෝල්ට්ස් පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබාගත්තේ 124, 172 සහ 164 ක් වශයෙනි.
අරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් පසුව පිටියට එන කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ සධීර සමරවික්රම ඇතුළු පිරිවර හමුවේ පන්දු යැවීමත් පහසු අභියෝගයක් නොවේ. නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්රම තිදෙනාම කඩුලු රකින්නෝ වෙති. ඉදින්, සංචිතයේ නොව, 11 දෙන අතරේම කඩුලු රකින්නන් තිදෙනකු සිටින බැවින් පිතිකරු ලයිස්තුව කැමති අතකට නමාගත හැකිය.
ශ්රී ලාංකික ටෙස්ට් ක්රීඩකයන්ගේ මෑත කාලීන දස්කම් මෙන්ම ශ්රී ලංකා ‘ඒ’ සහ නැඟී එන කණ්ඩායම්වල ක්රීඩකයන්ගේ දස්කම් විග්රහ කිරීමේදීත් ටෙස්ට් පිලේ ස්ථාවර ක්රීඩකයන් වෙත එල්ල වී තිබෙන පීඩනය සුළුපටු නොවේ. විශේෂයෙන්ම දිගින් දිගටම ආබාධයන්ට ලක්වන වේග පන්දු යවන්නන්ගේ අනාගතය මහත් අස්ථාවර මට්ට්මක පවතිද්දී, තරුණ ක්රීඩකයෝ තේරීම් කමිටු නිලධාරීන්ගේ ඇස්වලට ඇඟිල්ලෙන් අනිමින් සිටිති.
ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේ තරග 4 කදී කඩුලු 8 ක් දවාගත් මධුශංක පසුගිය මාසයේදී දකුණු අප්රිකානු ‘ඒ’ පිලට එරෙහිව පල්ලෙකැළේදී පැවැති නිල නොවන ටෙස්ට් තරගයේදී අගනා දස්කම් දැක්වූයේය. එම තරගයේ ඉනිම දෙකේදීම ඩිල්ෂාන් මධුශංක දවාගත්තේ කඩුලු 4 ක් වූවද, තරගය ජයගත් ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමට මුල් ඉනිමේදී ලකුණු 194 ක දැවැන්ත වාසියක් ලබාගත හැකිවූයේ මධුශංක (31/3) මුල් ඉනිමේදී කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙනි.
ඊට සාපේක්ෂව ගත් කල්හි, ශ්රී ලංකා කණ්ඩායමේ අවසන් ටෙස්ට් තරග 5 දීම, වේග පන්දු යවන්නන් සිව් දෙනකු එකතුව දවාගෙන ඇත්තේ කඩුලු 28 කි. ඒ වෙනුවෙන් ඔවුන් සිව්දෙනා ඕවර 330 ක් යවා තිබේ. මෙවන් තත්ත්වයක් හමුවේ ඩිල්ෂාන් මධුශංක විසින් ස්ථාවර වේග පන්දු යවන්නන් වෙත ඇතිකරනු ලබන පීඩනය සුළුපටු නොවේ.
කෙසේ වෙතත් ගාල්ලේදී ක්රීඩා කරන 11 දෙනා අතරට ඇතුළත්විය හැක්කේ වේග පන්දු යවන්නන් දෙදෙනකු පමණක් වන බැවින්, විශ්ව ප්රනාන්දු සමගින් තවත් දකුණත් වේග පන්දු යවන්නකුට අවස්ථාව හිමිවනු ඇත.
පළමු පෙළ තරග 37 කදී, ලකුණු 1111 ක සහ කඩුලු 124 ක හිමිකරුවකු වන පිට දඟ පන්දු යවන ලක්ෂිත මනසිංහ ද, ටෙස්ට් කණඩායමේ සිටින පුරුදුකාරයන් දඩයමේ යන්නෙකි. දකුණු අප්රිකානු ඒ පිලට එරෙහිව පිට පිටම ඉනිම දෙකකදී කඩුලු 5 ක් බැගින් දවාගත් මනසිංහ, පාකිස්තානයට එරෙහිව හම්බන්තොටදී පැවැති තරගයේදීත් කඩුලු 4 ක් දවාගත්තේය.
පසුගිය වසරේ ජූලි මාසයේදී ශ්රී ලංකාවට එරෙහිව ගාල්ල ක්රීඩාංගණයේදී, වළලුකර ඇඹරීම හේතුවෙන්, වසරක කාලයක් පුරා ටෙස්ට් තරගයකට සහභාගි නොවූ ශහීන් ෂා අෆ්රීඩි තම 100 වැනි ටෙස්ට් කඩුල්ල අපේක්ෂාවෙන් පසුවෙයි. මේ වන විට ටෙස්ට් කඩුලු 99 ක හිමිකරුවකුව සිටින අෆ්රීඩි, තවත් එක කඩුල්ලක් දවාගතහොත්, ටෙස්ට් කඩුලු 100 කඩයිම පසුකරන 11 වැනි පාකිස්තානු වේග පන්දු යවන්නා වනු ඇත.
දඟ පන්දු යවන්නන්ගේ රජ දහනක් වන ගාල්ල ක්රීඩාංගණයේදී ලකුණු ලබාගැනීම සඳහා තිබෙන හොඳම විකල්පය ‘ස්වීප් පහර’යි. ඒ අතින් සවුද් ශකීල් කෙළ පැමිණියෙකි. ස්වීප් පහර සම්බන්ධයෙන් සුවිශේෂී නිපුණතාවක් දක්වන සවුද් ශකීල්, එහි විභේදන 4 ම කදිමට කියාත්මක කරයි. පැඩ්ල් ස්වීප්, පරිපූර්ණ ස්වීප් පහර, ස්ක්වෙයාර් ලෙග් කලාපයට ඉහළින් පන්දුව යවන ‘ස්ලොග් ස්වීප්’ පහර මෙන්ම නොපිටට ගහන ‘රිවර්ස් ස්වීප්’ පහරත් සවුද් ශකීල්ගේ පිතිහරඹ මල්ලේ ගබඩාකර තිබේ. එය දඟ පන්දු යවන්නන්ට නම් හොඳ ආරංචියක් නොවේ.
ශ්රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, සධීර සමරවික්රම, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්රභාත් ජයසූරිය, ප්රවීන් ජයවික්රම, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක, විශ්ව ප්රනාන්දු සහ ලක්ෂිත මනසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.