Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි

ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි

Nisanka Sandeepani - 2018 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අවතක්සේරු කිරීමට දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි ඉදිරිපත් නොවේ. දකුණු අප්‍රිකානු නායකයාගේ නිගමනය අනුව ගාල්ල ක්‍රීඩාංගණයෙ තණතීරුව “සත්‍ය වශයෙන්ම ටෙස්ට් තරගයක් සඳහා උචිත තණතීරුවකි”

“මේ තණතීරුවේ කිසිම නොමනා ස්වභාවයක් තිබුණා කියා මා නම් හිතන්නේ නෑ”

“ඇත්තම කතාව තමයි දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමේදී අපට තිබුණ අසීරුතාව. ඒත් අපි පන්දුවට පහර දුන්න කොයිම වෙලාවකවත් තණතීරුවේ නම් කිසිම වරදක් මට පෙනුණේ නෑ. ඒත් දඟ පන්දු යවන්නන්ට මුහුණ දීම සඳහා තව ටිකක් පුහුණු වෙන්න මට සිද්ධ වෙනවා” යයි දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවසීය. 

ලෝකයේ අංක 2 හිමි ටෙස්ට් කණ්ඩායම වූ නමුත් දකූණු අප්‍රිකානුවෝ ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 278 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්හ. දින 5 ක් පුරා පැවැත්වීමට නියමිතය තිබූ මෙම තරගය දින දෙක හමාරකින් අවසන් විය. 

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වූ රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ ලක්‍ෂාන් සඳකැන් හමුවේ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ නිරුත්තර වූහ. දකුණු අප්‍රිකානු පිලේ බිඳවැටුණු කඩුලු 20 න් 17 ක් බෙදාගන්නා ලද්දේ මේ තිදෙනා විසිනි. 

වමතින් පා දඟ පන්දු යවන රංගන හේරත් සහ දකුණතින් පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරාගේ මනා පන්දු සංකලනය හේතුවෙන් සංචාරක පිතිකරුවෝ අන්ද මන්ද වූහ. වමතින් ‘චයිනමන්’ පන්දු යවන ලක්ෂාන් සඳකැන් පන්දුව අතට ගත් කල්හි දකුණු අප්‍රිකානුවෝ කළ නොකළ යුතු දේ සිතාගත නොහැකි තත්ත්වයට පත්වූහ. 

හේරත් සහ ඩිල්රුවන් දෙදෙනා දකුණු අප්‍රිකනුවන්ට කළ විනාශය හමුවේ ලක්ෂාන්ට කරන්නට දෙයක් ඉතිරි වී නොතිබිණ. ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගැනීම සඳහා ලක්ෂාන්ට අවශ්‍ය වූයේ ඕවර 8.5 ක් පමණි. 

සංචාරක පිතිකරුවන් මෙවන් අසරණ අඩියකට ඇද දැම්මේ ඔවුන්ගේම පූර්ව නිගමනයක් බව දකුණු අප්‍රිකානු නායකයාත් පිළිගනී. 

“හැම වෙලාවෙම අපි හිතුවේ ඒක (තණතීරුව) තියෙන තත්ත්වයට වඩා ඉතාම නරකයි කියලා” ඩු ප්ලෙසි විස්තර කළේය. 

“ඔවුන්ට තිබුණ ලොකුම ආයුධය තමයි නිතරම එකම විදිහට පන්දු යැවීම. දඟ පන්දු යවන්නන් නිතරම එකම විදිහට පන්දු යවනවා නම් ඒකෙන් ගැලවෙන්න හරි අමාරුයි. පන්දුවේ සුළු දඟ කැවීමක් විතරයි ඕනෑ වෙන්නේ. මොකද ඒ ගොල්ලන් දුර්වල පන්දු දෙන්නේම නැති නිසා....බොහෝ වෙලාවට අපි දැවී ගියේ ඒ තරම් දඟ කැවුණු පන්දුවකින් නෙමේ. ඒත් අපි හිතන් හිටියා ඒ පන්දුව ගොඩාක් දඟ කැවෙයි කියලා. ඒක මුහුණ දෙන්න පහසු තත්ත්වයක් නෙමේ.” 

“අනෙක් කාරණය තමයි අපට ලකුණක් නොදීම. හිරවෙලා ඉන්න වෙලාවක පන්දුවට මුහුණ දීමෙන් මිදෙන්න ඕනා. ඒත් අපට ලකුණක් ලබාගන්න අවස්ථාවක් නෑ. ඉතින් අපි අහුවෙනවා.....ඒ වගේ වෙලාවක හතරේ පහරක් ගැසීම තරමක සැනසීමක් වුණත් හතරේ පාරක් ගහන්න යාම ටිකක් අවදානම්. හතරේ පහරක් ගහන එකයි දැවී යාමයි අතරේ තියෙන්නේ 50 - 50 ක සම්භාවිතාවක්”

“මම වුණත් පළමු ඉනිමේදී පන්දුවට පහර දෙමින් සිටියදී පන්දු යවන්නනට පීඩනයක් දෙන්න කල්පනා කළා. මොකද ඔවුන්ට දිගටම ඒ දේ කරගෙන යන්න දුන්නොත් ඔවුන් තව තවත් අපිව හිර කරනවා. ඔවුන් ඒ තරමට හොඳයි.....අනෙක තමයි මේ පන්දු එකක්වත් නිදැල්ලේ යන්න දෙන්නත් බෑ. ඒවාට මුහුණ දෙන්නම වෙනවා” යයි දකුණු  අප්‍රිකානු නායකයා කීවේ ගාල්ල ක්‍රීඩාංගණයේදී වෙනත් කිසිම විදේශීය නායකයකු නොකී කතාවකි.  

තවත් දෘෂ්ටිකෝණයනකින් බලන කල්හි පළමු දිනයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ වාසිය අත්පත් කරගත්තේය. ඊට මූලික වූයේ අවසන් කඩුලු දෙක වෙනුවෙන් රැස්කරන ලද ලකුණු 111 යි. තරගය නිමාවූ සෙනසුරාදා දිනයේදීත් නායක සුරංග ලක්මාල් නොදැවී ලබාගත් ලකුණු 33 හේතුවෙන් අවසන් කඩුලු 3 ට  ලකුණු 56 ක් එක්විය. 

“මේ දකුණු ආසියාන කලාපයේදී ක්‍රීඩා කරන කොට පළමු ඉනිමේදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව හරිම වැදගත්. තරගයක වටිනාම දේ ඒක තමයි. තරගයක අවසන් ඉනිම ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වුවත් අපි වුවත්, මුල් ඉනිමේදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා”

“මේ (ශ්‍රී ලංකා) දඟ පන්දු යවන්නන්ගේ තත්ත්වය හරිම ඉහළයි. තණතීරුව මොකක් වුණත් ටෙස්ට් තරගයක් තුන්වැනි දිනටත් හතර වැනි දිනයටත් ඇදිලා ගියොත් ඒ දින දෙකේදී ඔවුන් කඩුලු ලබාගන්නවාමයි. ඒ නිසා පළමු ඉනිමේදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව ඉතාම ප්‍රයෝජනවත්”...යයි  කී ෆෆ් ඩු ප්ලෙසි ගාල්ල තරගයේදී තමන් වරද්දාගත් තවත් තැනක් මෙසේ හෙළිදරව් කළේය.

“පළමු ඉනිමේදී ඔවුන් ලකුණු 120 ක් විතර වැඩිපුර ලබාගත්තා. එක අවස්ථාවක් තිබුණා ශ්‍රී ලංකා කණ්ඩායම හිටියේ කඩුලු 7 කට ලකුණු 170 ක් ලබාගෙන. ඒ වගේ තත්ත්වයකදි පසුපෙළ පිතිකරුවන් ඉක්මනින් දවාගත යුතුයි. යම් විදියකින් අපට ඔවුන් (ශ්‍රී ලංකා කණ්ඩායම) ලකුණු 200 කට නැත්නම් 220 කට විතර දවාගන්න පුළුවන් වුණා නම් මේ තරගයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා”

“ඒත් ඒ වෙලාවේ අපි හරියට ක්‍රියාත්මක වුණේ නෑ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන්ට  තරගයේ පාලනය අතට ගන්න අපි ඉඩදුන්නා. ඒ සම්බන්ධයෙන් අපිට දොස් කියාගන්න වෙන්නේ අපටමයි. ඒත් මේ දේවල් ඉක්මනින් ඉගෙන ගන්න වෙනවා” යයිද සංචාරක කණ්ඩායමේ නායකයා කීවේය. 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග වල ඉතිහාසය වසර 25 ක් තරම ඈතට දිවයන්නකි. දකුණු අප්‍රිකානුවන් ගාල්ල ක්‍රීඩාංගණයේදී අත්කරගත්තේ ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලි ඉතිහාසයේ දෙවැනි විශාලතම පරාජයි. මීට පෙර, 2004 දී, කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති තරගයකදී ලකුණු 493 ක ඉලක්කයක් කරා යමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 179 කට දැවී ගියේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම එවර පරාජය වූයේ ලකුණු 313 කිනි. 

“කොහොම වුණත් මේක අපට ඉතාමත් හොඳ පාඩමක්. මේ තරගයේදී අපි හොඳට ක්‍රීඩා කළේ නෑ”

“මෙහි එනකොටම අපි දැනගෙන හිටියා තත්ත්වය ලේසි වෙන්නේ නෑ. කියලා. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ඉතාමත් හොඳයි කියලත් අපි දන්නවා. විශේෂයෙන්ම ඔවුන්ගේ රටේදී. ඒත් ඒ තත්ත්වයට මුහුණ දෙන්න තරම් ශක්තිමත් තත්ත්වයක අපි හිටියේ නෑ.....ඒ නිසා මේ තරගාවලියේදී සටනක් දෙන්න නම් අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්න ඕනා. එහෙම නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායම අපේ කරඋඩ නගීවි” යයි  ද දකුණු අප්‍රිකානු නායකයා පැවසීය. 

 


අදහස් (0)

ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.