ඩොලර් මි 800 ක අලාභයක් අපි විඳගන්නවා
‘2020 ටෝකියෝ’ ඔලිම්පික් උළෙල කල්දැමීම වෙනුවෙන් දැරීමට සිදුවන අලාභයෙන් ඩොලර් මිලියන 800 ක් දක්වා වන අලාභය විඳදරා ගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අපේක්ෂා කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් මහතා පවසයි. ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් මේ වනවිට ලොව පුරා 300,000 ක් දෙනා මිය ගොස් ඇති අතර මේ වසරේ ජූලි මාසයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල වසරක් ප්‍රමාද කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ජපාන රජය මාර්තු මාසයේදී තීරණය කළේය.
“කල්දැමූ 2020 ටෝකියෝ ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේදී අපගේ කොටස සහ වගකීම් සඳහා ඩොලර් මිලියන 800 ක් දක්වා අලාභයක් විඳදරා ගැනීමට අපි අපේක්ෂා කරනවා,” යැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු විධායක මණ්ඩල රැස්වීම අවසානයේ පැවැති දුරකතන සම්මන්ත්‍රණයකදී බැච් මහතා පැවසීය.
ලබන වසරේ ඔලිම්පික් උළෙල සංවිධානය කිරීම සඳහා ඩොලර් මිලියන 650 ක් වෙන් කිරීමට නියමිත අතර ජාත්‍යන්තර සම්මේලන සහ ජාතික ඔලිම්පික් කමිටු සඳහා ඩොලර් මිලියන 150 ක් පිරිනැමෙනු ඇත.
ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන සෑම වසර හතරකටම වරක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මූල්‍ය ප්‍රදානයක් මත විශ්වාසය තබති. මේ වන විට ලොව පුරා ක්‍රීඩා තරඟ තහනම් කිරීමත් සමඟ ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග සියල්ලම වියළී ගොස් තිබේ.
“ක්‍රීඩා උළෙල කල් දැමීමේ ප්‍රතිවිපාක මෙන්ම වාණිජමය සාර්ථකත්වයෙන් යුත් ජාත්‍යන්තර සම්මේලනවල කොටස ගෙවීම කල් දැමීම සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර සම්මේලන සමඟ සාකච්ඡා කරමින් සිටිනවා” යනුවෙන් බැච් මහතා පැවසීය.
”මෙම සාකච්ඡාවලදී අපි ඉතා ඉදිරියෙන් සිටින අතර අපි දිගටම සහාය දෙනවා” යනුවෙන් ඔහු පැවසීය.
ලොව විශාලතම ක්‍රීඩා උළෙල මාස 12 ක් ප්‍රමාද වීම හේතුවෙන් ටෝකියෝ සංවිධායකයින්ට සහ ජපාන රජයට දැරීමට සිදුවන වියදම බැච් විසින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවේ.
“කල් දැමීම නිසා ඇති වන බලපෑම පිළිබඳව අපි තක්සේරු කරමින් අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටිනවා.... අද ඔබ දුටු දෙය නම්, ඒ කියන්නේ ඩොලර් මිලියන 800 ක මෙම ලියුම් කවරය, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පාර්ශවය සඳහා වන අලාභයේ තක්සේරුවයි”
“ටෝකියෝ ක්‍රීඩා සංවිධායක කමිටුව සමඟ මෙම සාකච්ඡාව අප එකඟ වූ ආකාරයටම ඉදිරියට යනු ඇත” යයිද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පැවසීය.
ක්‍රීඩා සංවිධායකයින්ගේ විරෝධය හේතුවෙන් කල්දැමීම සඳහා වන පිරිවැය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා වෙත යොමු කළ අදහස් දැක්වීමක් ඉවත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුට පසුගිය මාසයේ දී පියවර ගත්තේය. දැන් පළමු ප්‍රමුඛතාවය මලල ක්‍රීඩකයන්ගේ ගම්මානය සහ මාධ්‍ය මධ්‍යස්ථාන ඇතුළු ඔලිම්පික් ක්‍රීඩාංගණ තවත් වසරක් සඳහා සුරක්ෂිත කරගැනීම බවද බැච් මහතා සඳහන් කළේය.
“මෙය පහසු කටයුත්තක් නොවේ. අපගේ ජපන් මිතුරන් මේ සඳහා උපරිම වෙහෙසීමෙන් කටයුතු කරයි,” ඔහු පැවසීය. කෙසේ වෙතත් කොරෝනා වයිරසය හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි අනුමාන කිරීම බැච් මහතා ප්‍රතික්ෂේප කළේය.
එන්නත් 90 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ගෝලීයව පරීක්‍ෂා කෙරෙමින් පවතින අතර සායනික අත්හදා බැලීමේ අටක්ද මේ වනවිට ක්‍රියාත්මක වේ. නමුත් විශේෂඥයන් පවසන්නේ කොරෝන වයිරසයට එන්නතක් සොයාගැනීම සඳහා වසර ගණනාවක් ගත විය හැකි අතර ඇතැම් විට එය කිසිසේත් සිදු නොවිය හැකි බවයි.
“අපි දැන් 2020 ටෝකියෝ ක්‍රීඩා උළෙල 2021 දී සාර්ථක කර ගැනීම සඳහා පූර්ණ උත්සාහයක් ගනිමින් සිටින අතර මෙම ක්‍රීඩා උළෙලට සහභාගිවන සියලු දෙනා ආරක්ෂිත පරිසරයක තබා ගැනීම සඳහා උත්සහ කරනවා” යැයි බැච් මහතා පැවසීය.
- 2079