Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරගය ජය පරාජයෙන් තොරව අවසන්

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Nisanka Sandeepani - 2018 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (04 වැනිදා) අවසන්විය. තරගයේ විසඳුමක් පේන තෙක් මානයේ නොතිබීම නිසා කණ්ඩායම් දෙකේ නායකයන්ගේ කැමැත්ත මත තරගය අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

තරගය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශය දෙවැනි ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 307 ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව පළමු ඉනිමේදි රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 200 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශය තරගය නිමාවන විට කඩුලු 5 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 107 ක් ඉදිරියෙන් පසුවිය.

පිට පිට කඩුලු දැවීයාම හේතුවෙන් කඩා වැටුණු බංග්ලාදේශ ඉනිම ගොඩනගමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මහත් හිසරදයක්වූ මොමිනුල් හක් ලකුණු 105 ක් රැස්කර සිටියදි දවාගැනීමට ධනංජය ද සිල්වා සමත්විය. දිමුත් කරුණාරත්න අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 174 කට මුහුණදී සිටි මොමිනුල් හක් හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සිය ඉනිමට එක්කරගෙන සිටියේය.

පළමු ඉනිමේදී ලකුණු 176 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 105 ක් සමගින් ලකුණු 281 ක් රැස්කරගත් මොමිනුල් හක් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. මින් පෙර පාකිස්තානයට එරෙහිව ලකුණු 231 රැස්කළ ටමීම් ඉක්බාල් (25 සහ 206) බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්ව සිටියේය.

2000 වසරේ ටෙස්ට් වරම් හිමිකරගත් බංග්ලාදේශය වෙනුවෙන් වසර 18 ක් ගතවනතෙක් ඉනිම දෙකෙහිදි ශතක හිමිකර ගැනීමට කිසිදු පිතිකරුවකුට නොහැකිවූ අතර මෙම තරගයේ ඉනිම දෙකෙහිදි ශතක ලබාගත් මොමිනුල් හක් මේ දස්කම් සිදුකළ පළමු පිතිකරුවා බවට පත්විය.

මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව ඩිල්රුවන් පෙරේරාගේ දක්ෂ උඩපන්දු රැකීම හමුවේ ලිටන් දාස්ගෙන් අහිමිව ගියේය. රංගන හේරත් දැමූ පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසූ ලිටන් දාස් හයකින් ශතකය සැමරීමට උත්සහ කළද නොසිතූ අයුරින් ඉහළ නැගි පන්දුව ඩිල්රුවන් පෙරේරා පසුපසට දිවවිත් රැකගැනීමත් සමගින් ඔහුගේ ඉනිම ලකුණු 94 කට අවසන් විය. පන්දු 182 කට මුහුණදුන් ලිටන් දාස් හතරේ පහර 11 ක් සමගින් ලබාගත්තේ ඔහුගේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය වන අතර ඔහු ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වන්නේය.

සිවුවැනි දිනට ඊයේ (3 වැනිදා) තරගය නතර කරනවිට ලකුණු 81 කට කඩුලු 3 ක් අහිමිකරගෙන සිටි බංග්ලාදේශය අද දිවා ආහාරය වනවිට පළමු භාගය සදහා කිසිවකු නොදැවී ලකුණු 106 ක් රැස්කර සිටි අතර දිවා ආහාරය සහ තේ පානය අතර කාළය තුළ කඩුලු 2 ක් අහිමිකර ගනිමින් ලකුණු 94 ක් රැස්කිරිමට ඔවුන් සමත්වූහ.

තරගය ආරම්භයේදී සිවුවැනි සහ අවසන් දිනයන්හි තණතීරුව දඟපන්දු යවන්නන් සදහා යෝග්‍ය වනු ඇතැයි සියලුදෙනාගේ මතය වුවද දඟ පන්දු යවන්නන් සදහා තණතීරුව සහයෝගයක් දක්වන ආකාරයක් දැක ගැනීමට නොහැකිවිය.

වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සහ දඟපන්දු යවන්නන් පස්දෙනෙකු යොදා ගැනීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළද දවාගැනිමට හැකිවූයේ කඩුලු පහකි. ඉන් කඩුලු 3 ක් ඊයේ දවාගත් අතර අද දිනයේදී දවාගැනිමට හැකිවූයේ කඩුලු 2 ක් පමණි. රංගන හේරත්ට කඩුලු දෙකක් සහ ධනංජය ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

 

 

 

තරගයේ විශේෂ අවස්ථා ...

 


අදහස් (0)

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.