Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරගාවලි 8 ක් සාමාජිකයන් අතර බෙදයි

තරගාවලි 8 ක් සාමාජිකයන් අතර බෙදයි

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුද හමුදාව සහ ගුවන් හමුදාව සංවිධානය කරන මෝටර් රථ තරගාවලි සියල්ලම තමන්ගේ සාමාජික සංගම් සහ ක්‍රීඩා සමාජ අතරේ බෙදා දීමට මෝටර් රථ ක්‍රීඩා තරග සම්බන්ධයෙන් ජාතික පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ පරිපාලන කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ සුරංජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.

වසර 2016 සහ 2017 කාල සීමාව වෙනුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයට නව නිලධාරී මණ්ඩයක් තෝරාගැනීම සඳහා මේ වනවිට නිලවරණයක් කැඳවා තිබේ. ජාතික සංගමයේ පරිපාලන කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අවසන් කාල සීමාවේදී  ප්‍රේමදාස මහතා ඉහත තීරණය ගෙන තිබේ.

සුරංජිත් ප්‍රේමදාස මහතා

නරියාකන්ද සුපර්ක්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස්, සීගිරිය සුපර්ක්‍රොස්, ගනර්ස් සුපර්ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස්, වලව සුපර්ක්‍රොස්, කොමාන්ඩෝ සුපර්ක්‍රොස් සහ කටුකුරුන්ද රොදර්හැම් යන තරගාවලි 8 ම ක්‍රීඩා සමාජ සහ සංගම් 7 ක් අතරේ බෙදා දී තිබේ. එම සමාජ සහ සංගම් වලට ලිපි යොමුකරමින් තරගාවලි බෙදාදුන් අකාරය පිළිබඳව දැනුම්වත් කිරීමටද ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

මීට ඉහතදී ක්‍රීඩා සමාජ 3 ක් පමණක් යුද හමුදාව සහ ගුවන් හමුදාව සමග එක්ව මෙම තරගාවලි 8 ම සංවිධානය කළේය.

නරියාකන්ද සුපර්ක්‍රොස්, සීගිරිය රැළික්‍රොස්, ගනර්ස් සුපර්ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස් සහ කටුකුරුන්ද රොදර්හැම් යන තරගාවලි සියල්ලම ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමයේ අධීක්‍ෂණය ඇතිව සංවිධානය කෙරිණ.

තරගාවලි බෙදා දීමෙන් පසු සීගිරිය රැළික්‍රොස් තරගාවලියේ බලපත්‍ර ලාභි ක්‍රීඩා සමාජය ලෙස ලංකා මෝටර් රථ ක්‍රීඩා සමාජයද, ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ බලපත්‍ර ලාභි ක්‍රීඩා සංගමය ලෙස මෝටර් රේසිං සංගමයද, කටුකුරුන්ද රොදර්හැම් තරගාවලියේ බලපත්‍ර ලාභි ක්‍රීඩා සමාජය ලෙස මීගමුව මෝටර් රථ සමාජයද නම් කිරීමට පරිපාලන කමිටු සභාපතිවරයා පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් මින් පෙර එම තරගාවලි සංවිධානය කළ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය එම තරගාවලි වල සංවිධාන කටයුතු වලින් ඉවත් කර නැත. බලපත්‍ර හිමි ක්‍රීඩා සංගමයක් හෝ ක්‍රීඩා සමාජයක් සමග එක්ව හවුලේ ඉහත තරගාවලි සංවිධානය කිරීමේ අවස්ථාව ඔවුන්ට ඉතිරි කර තිබේ.

නව තරගාවලි සැලැස්මට අනුව නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය සහ ගනර්ස් සුපර්ක්‍රොස් තරගාවලි 2 පමණක් තනිව සංවිධානය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමයට හිමිවී තිබේ.

ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද කැවල්රි සුපර්ක්‍රොස් සහ කොමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලිවල සංවිධාන කටයුතු සම්බන්ධයෙන් කිසිම වෙනසක් කර නැති අතර ඉදිරියටද එම තරගාවලි සංවිධානය කිරීමේ අයිතිය එම සංගමයටම දී තිබේ.  

ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය විසින් මෙහෙයවනු ලැබූ වලව සුපර්ක්‍රොස් තරගාවලියේ සංවිධාන කටයුතු සඳහා දකුණු මෝටර් රථ ක්‍රීඩා සමාජයද එක් කර තිබේ. එසේ වුවත් එම තරගාවලියේ බලපත්‍රලාභී ක්‍රීඩා සමාජය ලෙස තවදුරටත් ශ්‍රී ලංකා යතුරුපැදි සමාජයම නම් කිරීමටද පරිපාලන කමිටු සභාපතිවරයා පියවර ගෙන තිබේ.

මෙලෙස තරගාවලි බෙදාදීම සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී සුරංජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ජාතික සංගමයේ සාමාජිකයන් වන ක්‍රීඩා සමාජ සහ සංගම් අතර තරගාවලි සම්බන්ධයෙන් ඇති වන ගැටුම් නැති කිරීමටත්, ඔවුනොවුන් අතර සමගිය වර්ධනය කිරීමටත් බලාපොරොත්තුවෙන් මෙම පියවර ගත් බවයි.

“මේ වැඩෙන් තවත් ක්‍රීඩා සමාජ කිහිපයකටම යුද හමුදාවයි, ගුවන් හමුදාවයි එක්ක එකතුවෙලා තරග සංවිධානය කරන්න අවස්ථාව ලැබෙනවා...නැත්නම් වෙන්නේ හැමදාම ක්‍රීඩා සමාජ දෙක තුනක් විතරක් මේ තරග සංවිධානය කරන එක”

“මේ විදියට හැමෝටම තරග සංවිධානය කරන්න අවස්ථාවක් ලැබෙන විදියට බෙදලා දුන්නාම ඒගොල්ලන්ට ගැටුම් ඇතිකරගන්නේ නැතුව එකට එකතුවෙලා සමගිව වැඩ කරන්න වෙනවා.” යයි ප්‍රේමදාස මහතා ලංකාදීපට පැවසීය.

කෙසේ වුවත් මෙලෙස තරගාවලි බෙදා දීම සම්බන්ධයෙන් ප්‍රසාදය මෙන්ම අප්‍රසාදයද පළ කරන දෙපිරිසක් ඇති බවත්, ඊට අප්‍රසාදය පළ කරන පිරිස මෙම තරගාවලි බෙදා දීමෙන් තම ක්‍රීඩා සමාජ සහ සංගම් වලට ආසාධාරණයක් වූ බවට පවසමින් ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිළි ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.

මෝටර් රථ ක්‍රීඩා තරග සම්බන්ධයෙන් ජාතික පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ සාමාජික අනු සංගම් සහ ක්‍රීඩා සමාජ 9 ක් තිබේ. නව තරගාවලි බෙදා දීමට අනුව ඉන් සංගම් සහ ක්‍රීඩා සමාජ 7 කට කුමන හෝ තරගාවලියක සංවිධාන කටයුතු වලට සහභාගි වීමේ අවස්ථාව හිමිව තිබේ. කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජයට (කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය) සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමයට පමණක් එම අවස්ථාව අහිමිවී තිබේ.

 

 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

තරගාවලි 8 ක් සාමාජිකයන් අතර බෙදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.