Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තහනම් උත්තේජක භාවිතයට අනුබල දෙන්නන් හොයාගන්න බෑ

තහනම් උත්තේජක භාවිතයට අනුබල දෙන්නන් හොයාගන්න බෑ

editorial - 2023 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශන ගාල්ලගේ මහතා මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අයුරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් හා වෛද්‍ය සීවලි ජයවික්‍රම යන මහත්වරු ද මෙහි වෙති.

(නාමල් පතිරගේ)

තහනම් උත්තේජන භාවිතය පිළිබඳව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චෝදනා එල්ල වුවත් ඊට අනුබල දෙන්නන් පිළිබඳව නිශ්චිත සාක්ෂි සපයා ගැනීම අසීරුවී ඇතැයි ශ්‍රී ලංකාවේ තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

කොළඹ දී පවත්වා අවසන් කළ 18 වැනි ආසියා - ශාන්තිකර කලාපීය තහනම් උත්තේජක විරෝධී අන්තර් රාජ්‍ය අමාත්‍ය රැස්වීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කොළඹ තිබුණි. ඒ සඳහා රටවල් 28ක නියෝජිතයන් හා ක්‍රීඩා ඇමතිවරුන් අට දෙනෙකු සහභාගි වූහ. මෙම දෙදින සමුළුව ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිත ආයතනය (වාඩා) සමග එක්ව සංවිධානය කළේ ශ්‍රී ලංකා තහනම් උත්තේජක විරෝධී නියෝජිත ආයතනය විසිනි.

කොළඹ තහනම් උත්තේජක විරෝධී නියෝජිත ආයතන ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය හමුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි. මෙම අවස්ථාවට පොලිස් තහනම් උත්තේජක විරෝධී බුද්ධි අංශයේ ප්‍රධානි ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි දර්ශන ගාල්ලගේ මහතා ද සහභාගි විය.

එහිදී සීවලි ජයවික්‍රම මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් පැවසුවේ තහනම් උත්තේජක චෝදනා ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඒවාට අනුබල දෙන්නන් හා තහනම් උත්තේජක ඔවුන්ට සපයන්නන් පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමේ ක්‍රමවේදකයක් නොමැති බවයි.

‘‘මගේ චෝදනා ලබපු මෙරට කිසිම ක්‍රීඩක ක්‍රීඩිකාවක් තමන්ට තහනම් උත්තේජක ලබාදුන්නේ කවුද කියලා අපට කවදාවත් හෙළිදරව් කරලා නෑ. එහෙම ඔවුන්ගෙන් හෙළිදරව් කරගන්න තහනම් උත්තේජක විරෝධී ආයතනයට නෛතික හැකියාවකුත් නෑ’’ වෛද්‍ය සීවලි ජයවික්‍රම මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුව ඇමතූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශන ගාල්ලගේ මහතා පැවසුවේ තහනම් උත්තේජකවලට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇබ්බැහි කරන පුද්ගලයන් හා පාර්ශවයන් රහසිගතව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරියේ දී පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් බුද්ධි අංශයන් (ඔත්තු සේවයක්) ක්‍රියාවට නගන බවයි. එහිදී ගොඩබිම, ගුවන්, මුහුදු මාර්ග ඔස්සේ හා මෙරටට ළඟාවන අධිපෝෂණ ආහාරපාන, ඖෂධ, ශක්තිජනක පාන ආදියේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව හා එක්ව විමර්ශන සිදු කිරීමේ හැකියාව මෙම පොලිස් බුද්ධි අංශයට හිමිවන බව ද එහිදී දර්ශන ගාල්ලගේ මහතා පැවසීය.

මේ අතර තහනම් උත්තේජක පිළිබඳව කුඩා කාලයේ සිට දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් පාසල් විෂය නිර්දේශයට හය වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා ‘තහනම් උත්තේජන ද්‍රව්‍ය’ විෂයයක් ලෙස ඉගැන්වීමට අපේක්ෂා කරන බව වෛද්‍ය සීවලි ජයවික්‍රම මහතා මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැවසීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොදැනුවත්කමින් තහනම් උත්තේජක ශරීරගත කර ගැනීම චෝදනාවෙන් ගැලවීමට හේතුවක් නොවන බවත් එය නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ’ යන කියමනට සමාන වන කාරණයක් බවත් වෛද්‍ය සීවලි ජයවික්‍රම මහතා පවසයි.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ කිසියම් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් පුහුණුවීම් හා තරග වදින අවස්ථාවක දී ලබා ගන්නා ආහාරපාන, ශක්ති ජනක පාන හා ඖෂධ පිළිබඳව ඔහු හෝ ඇයගේ පුහුණුකරු ඇතුළු පරිවාර නිලධාරීන් නිසි වැටහීමකින් හා දැනුවත්වීමකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි. එය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක චෝදනාවෙන් ගලවා ගත හැකි හොඳම ක්‍රමවේදය බවත් ඔහු පෙන්වා දේ.

මේ වනවිට තහනම් උත්තේජක විමර්ශනය සඳහා ක්‍රීඩකයෙකුගෙන් හෝ ක්‍රීඩිකාවකගෙන් ලබා ගන්නා මුත්‍රා නියදි පරීක්ෂාවට අපට ඇමරිකානු ඩොලර් 250ක මුදලක් වැය කෙරේ. එය මෙරට මුදලින් රුපියල් 80,000 කට ආසන්න වන මුදලකි.


අදහස් (0)

තහනම් උත්තේජක භාවිතයට අනුබල දෙන්නන් හොයාගන්න බෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.