Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තුන්වැනි එක්දින තරගය අතහැර දමයි

තුන්වැනි එක්දින තරගය අතහැර දමයි

ශනුක අරවින්ද - 2015 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දිගින් දිගටම පැවැති වර්ෂාව නිසා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඕක්ලන්ඩ් නුවරදී අද (17 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය 29 වැනි ඕවරයේදී අතහැර දමන ලදි. වර ඇද හැලූණු වර්ෂාවේ බාධක මැද සිය අර්ධ ශතකය ලබාගත් මාටින් ගප්ටිල් ඕවර 28.5 ක් අවසන් වනවිට නවසීලන්ත පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලූ 3 ක් දැවී 145 ක් දක්වා ඉහළ දමා තිබිණ. 

පස්වරු 6.00 ට පමණ ඇදහැළෙන්නට ගත් වර්ෂාව රාත්‍රී 8.00 වන තුරුත් පැවතිණ. ඒ  වන විට තිබූ තත්ත්වය සැලකිල්ලට ගත් විනිසුරුවරු තරගය අතහැර දැමීමට තීරණය කළහ.

තරග 7 කින් සමන්විත තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය යන දෙපිලම තරගයක් බැගින් ජයගෙන සිටින බැවින් තරගාවලිය 1-1 ක් ලෙසින් සම තත්ත්වයේ පවතී.

ගප්ටිල් සහ ටොම් ලේතම් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 99 ක සම්බන්ධතාවක්ද ගොඩ නැංවූ නමුත් 25 වැනි  ඕවරයේදී වර්ෂාව නිසා තරග නතර කර නැවතත් ආරම්භ කිරීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු දෙකකින් ලේතම් සහ රොස් ටේලර් දෙදෙනාම දැවී ගියහ.

තරගයේ  ඕවර සංඛ්‍යාව 43 දක්වා අඩු කිරීමෙන් පසුව නැවතත් තරගය ආරම්භ කරන ලද අතර 29 වැනි  ඕවරය යවමින් තිබියදී තුන්වැනි වරටත් වර්ෂාව ඇද හැලෙන්නට පටන් ගැනීමත් සමග යළි තරගය නතර කිරීමට විනිසුරුවන්ට සිදුවිය. 

කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත පිලට පැවරූ අතර පළමු කඩුල්ලට ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට ආරම්භක පිතිකරුවෝ සමත් වූහ. 

නායක බ්‍රෙන්ඩන් මැකලම් සුපුරුදු ප‍්‍රහාරය දියත් කළ අතර ධම්මික ප‍්‍රසාද් යැවූ ඉනිමේ දෙවැනි  ඕවරයේ දෙවැනි පන්දුවට දැවැන්ත හයේ පහරක් ගැසූ මැකලම් ප‍්‍රසාද්ගේ ඊළඟ  ඕවරයේදී තවත් හයේ පහරකින් සංග‍්‍රහ කළේ කළේ ප‍්‍රසාද්  දැඩි පීඩනයකට හසු කරමිනි.

ඕවර 7ක් අවසානයේ පන්දු යැවීමේ වෙනසක් ඇති කරමින් ප‍්‍රසාද් වෙනුවට පන්දුව අතට ගත් නායක මැතිව්ස් සිය පළමු පන්දුවෙන්ම මැකලම්ගේ කඩුල්ල දවා ගැනීමට සමත්විය. ශ‍්‍රී ලංකාවට දැඩි හිසරදයක්ව සිටි මැකලම් දැවී ගියේ නුවන් කුලසේකර රැක ගත් විශිෂ්ට උඩපන්දුවකිනි. 

මැකලම් ගැසූ පහරින් ඉහළ නැගුණු පන්දුව රැකගැනීම සඳහා ෂෝට් ෆයින්ලෙග් කලාපයේ සිට අඩි ගණනාවක් පසුපසට දිවගිය කුලසේකර සුරක්ෂිතව පන්දුව රැකගත්තේය. මැකලම් ලකුණු 28 කට දැවී යද්දී හතරේ පහර හා හයේ පහර 2 ක් බැගින් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ. 

පළමුවර වර්ෂාව තරගයට බාධා ගෙනදුන්නේ නවසීලන්ත පිල  ඕවර 18 ක් අවසානයේ එක් කඩුල්ලකට ලකුණු 88 ක් ලබා සිටියදීය. ඒ වනවිට ගප්ටිල් ලකුණු 34 ක් ද, ටොම් ලේතම් ලකුණු 21 ක්ද ලබා සිටියහ. යළි තරගය ආරම්භ වූයේ එක් පිලකට  ඕවර 47 ක තරගයක් ලෙසිනි. 

අනතුරුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළ ගප්ටිල් සිය එක්දින තරග දිවියේ 20වැනි අර්ධ ශතකය ලබා ගත්තේ තිසර පෙරේරා හමුවේ ගැසූ හයේ පහරකිනි. 

අද තරගයේ දී ශ‍්‍රි ලංකා පිලේ සිදුවූ එකම වෙනස වූයේ රංගන හේරත් වෙනුවට ධම්මික ප‍්‍රසාද් කණ්ඩායමට ඇතුළත්වීමය. නවසීලන්ත පිලට ටිම් සවුති හා මිචෙල් මැක්ලෙනගන් නැවත කැඳවා තිබූ අතර ටෙ‍්‍රන්ට් බෝල්ට් හා ඇඩම් මිල්න් විවේක ගන්වා තිබිණි.

 


අදහස් (1)

තුන්වැනි එක්දින තරගය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.