Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්ලි පිල දෙවැනි වරටත් බැංගලෝර් පරදවයි

දිල්ලි පිල දෙවැනි වරටත් බැංගලෝර් පරදවයි

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 46 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ බැංගලෝර් රෝයල් චැලෙන්ර්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 16 ක ජයක් අත්කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී දිල්ලි කණ්ඩායම, බැංගලෝර් කණ්ඩායම පරාජය කළ දෙවැනි අවස්ථාව මෙයයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි. බැංගලෝර් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මාකස් ස්ටොයිනිස් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 32 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු පාර්තිව් පටේල් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 39 ක් රැස්කළ අතර ගුරුකීත් සිං පන්දු 19 කදී ලකුණු 27 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

මේ වන විට මෙවර අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින කගිසෝ රබාඩා මෙම තරගයේදීද ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගත් අතර බැංගලෝර් පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අමීත් මිෂ්රා ලකුණු 29 කට කඩුලු 2 ක් බිඳහෙළීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය. මුලු ලකුණු සංඛ්‍යාව 35 ක් වන විට ලකුණු 18 ක් ලබා සිටි ආරම්භක පිතිකරු ප්‍රිත්වි ෂෝ පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත් විය.

ඉන් අනතුරුව ශිකර් ධවාන් (50) සමග එක්වූ නායක ශ්‍රෙයාස් අයියර් (52) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. පන්දු 37 කට මුහුණදුන් අයියර් හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 37 කදී වාර්තා වූ ධවාන්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

දිල්ලි ඉනිමේ හයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ශර්ෆේන් රදර්ෆඞ් පන්දු 13 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 28 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් අක්සර් පටේල් පන්දු 9 කදී නොදැවී ලකුණු 16 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.


දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 187
(ප්‍රිත්වි ෂෝ 18, ශිකර් ධවාන් 50, ශ්‍රෙයාස් අයියර් 52, ශර්ෆේන් රදර්ෆඞ් නොදැවී 28, අක්සර් පටේල් නොදැවී 16, යුස්වේන්ද්‍ර චාහල් 41/2)

බැංගලෝර් රෝයල් චැලෙන්ර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 171  
(පාර්තිව් පටේල් 39, විරාට් කෝලි 23, ඒ.බී. ඩිවිලියස් 17, ශවම් ඩූබේ 24, ගුරුකීත් සිං 27, මාකස් ස්ටොයිනිස් නොදැවී 32, අමීත් මිෂ්රා 29/2, කගිසෝ රබාඩා 31/2)

 

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ් අඩවිය අනුග්‍රහයෙනි

-036 


අදහස් (0)

දිල්ලි පිල දෙවැනි වරටත් බැංගලෝර් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.