Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දියගමින් ‘මහින්ද රාජපක්ෂ’ නම හැලෙයි

දියගමින් ‘මහින්ද රාජපක්ෂ’ නම හැලෙයි

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම ‘මහින්ද රාජපක්‍ෂ’ ක්‍රීඩා සංකීර්ණය නවීකරණය කිරීමේදී එය මෙතැන් සිට දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හා ජාතික ක්‍රීඩා ඇකඩැමිය ලෙස ව්‍යහාර කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අදහසකට අනුව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා සංවර්ධන පදනමේ මෙහෙයවීමෙන් ඉදිවූ දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා සංකීර්ණය වසර 2009 නොවැම්බර් මාසයේදී විවෘත කරනු ලැබීය.

එහි විශේෂත්වය වූයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණයක ඉදිවූ දෙවැනි කෘත්‍රිම මලල ක්‍රීඩා ධාවන පථයෙන් එය සමන්විත වීමය. මීට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දියගම විකාශනාගාරය ස්ථාපිතව තිබූ භූමි භාගය පසු කලෙකදී මෙලෙස දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා සංකීර්ණය ලෙස සංවර්ධනය කෙරිණි.

ඒ සඳහා අක්කර 125 කින් පමණ සමන්විත භූමි භාගයේ අක්කර 45කට ආසන්න කොටසක් යොදා ගැනුණි. එහි ඉදිකිරීම් අතර ශ්‍රී ලංකාවට ආගන්තුකව තිබූ වෙලෝඩෘම් කෘත්‍රිම පාපැදි ධාවන පථයකින්ද සමන්විත විය.

කෙසේ වුවත් නියමිත ප්‍රමිතියට අනුකූල නොවන ඉදිකිරීමක් බවට පත්ව තිබූ එම පාපැදි ධාවන පථය පසුව කඩා දැමූ අතර පසුව එම ස්ථානයේ පිහිනුම් තටාකයක් ඉදි කෙරුණි.

මේ වන විට අබලන් තත්ත්වයට පත්ව තිබෙන දියගම ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථය වෙනුවට අලුත් ධාවන පථයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පළමුව එළීම ආරම්භ කෙරේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරි දෙවසරක එහි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අංගසම්පූර්ණ ජාතික ක්‍රීඩා විද්‍යායතනයක් (ඇකඩැමියක්) ද එහිදී ස්ථාපනය කෙරේ.

පසු කාලයේදී දියගම පිටියේ කෘත්‍රිම ධාවන පථයේ ප්‍රමිතිය පිළිබඳව කතාබහක් ඇති විය. එහෙත් සුගතදාස පිටියේ කෘත්‍රිම මලල ක්‍රීඩා ධාවන පථයේ අබලන්වීමත් සමඟ දිවයිනේ සියලු ප්‍රමුඛතම මලල ක්‍රීඩා තරග දියගම පිටියේ පැවැත්වීමට කටයුතු කිරීම තුළ එහි කෘත්‍රිම ධාවන පථයට වඩාත් වටිනාකමක් ලැබුණි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු ‘ලංකාදීපයට’ පැවසුවේ දියගම ක්‍රීඩා සංකීර්ණයෙන් ‘මහින්ද රාජපක්‍ෂ’ නාමය ඉවත් කිරීමට ගත් තීරණයෙහි කිසිදු දේශපාලන ක්‍රියාදාමයක් නොමැති බවයි.

වසර 2020 දී ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරය බාරගැනීමට සූදානම් වන අතර එයද සැළකිල්ලට ගනිමින් දියගම ක්‍රීඩා සංකීර්ණය මෙසේ ඉහළින් නවීකරණය කිරීමට වැඩිදුරටත් ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා සංකීර්ණයේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ (2016) සමස්ත උත්සවයට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා එදා ප්‍රකාශ කළේ දියගම ක්‍රීඩා සංකීර්ණය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගෙන සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙන බවයි.

 

- 223


අදහස් (0)

දියගමින් ‘මහින්ද රාජපක්ෂ’ නම හැලෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.