Last Update  :  2025-03-03 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට
ශූරයන්ගේ කුසලාන

දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

editorial - 2025 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කරච්චි නුවරදී අද (01 වැනිදා) පැවති ‘බී’ කාණ්ඩයේ තරඟයකදී එංගලන්තයට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් ලබා ගත් දකුණු අප්‍රිකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. දකුණු අප්‍රිකානුවන් මූලික වටයේදී අපරාජිතව සිටිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනිද්දී එංගලන්තය මූලික වටයේ තරග තුනම පරාජය වීමෙන් පසුව තරගාවලියෙන් ඉවතට ගියේය. 

වියාන් මුල්ඩර් (25/3) සහ මාර්කෝ යැන්සන් (39/3) දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ එංගලන්තය ඕවර 38.2 කදී ලකුණු 179 කට දැවී ගියේය. දකුණු අප්‍රිකාව ඕවර 29.1 කදී කඩුලු තුනක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. 

මූලික වටයේ තරග අතුරින් තවමත් ඉතිරිව ඇත්තේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය පමණි. තරග කාලසටහනේ තිබෙන බැවින් ද, රූපවාහිනී විකාශන අයිතිවාසිකම් වෙනුවෙන් ද පැවැත්වෙනවා විනා මෙම තරගයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයට පිවිසීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ඇති නොකෙරෙනු ඇත. ඉන්දියාව මෙන්ම නවසීලන්තය ද මේ වන විටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති. 

කෙසේ වෙතත් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගන්නේ ඉන්දියාවද නැතහොත් නවසීලන්තය ද යන්න හෙට පැවත්වෙන තරගයේ ප්‍රතිඵලය මත තීරණය කෙරේ. 

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මාර්තු 4 වන දින ඩුබායි හිදී පැවැත්වෙන අතර දෙවන තරගය මාර්තු 05 වැනිදා ලාහෝර් හිදී පැවැත්වේ.

දේශපාලන හේතූන් මත පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කළ ඉන්දිය කණ්ඩායම, ප්‍රසාද ලකුණු පුවරුවේ කොතැනින් මූලික වටය අවසන් කළත් ඔවුන්ගේ අවසන් පූර්ව තරගය මෙන්ම සුදුසුකම් ලබාගතහොත් අවසන් මහ තරගය ද ඩුබායි හිදී ක්‍රීඩා කරනු ඇත. 

ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවහොත් පමණක් එය මාර්තු 9 වන දින ඩුබායි හිදී පැවැත්වේ. එසේ නොවුවහොත් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය 9 වැනිදා ලාහෝර් නුවරදී පවත්වනු ඇත.

එංගලන්තය ලකුණු 179 කට දැවී ගිය බැවින් දකුණු අප්‍රිකානුවන්ට ලැබුණේ පහසු ඉලක්කයකි. 

වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් විසින් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ටි්‍රස්ටන් ස්ටබ්ස් (00) සහ රයන් රිකල්ටන් (27) ලකුණු 47 ක් ඇතුළත දවාගත් නමුත් රාසී වැන්ඩර් ඩසන් සහ හෙන්රික් ක්ලාසන් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

පන්දු 56 කදී හතරේ පහර 11 ක් සමඟින් ලකුණු 64 ක් ලබාගත් ක්ලාසන්, ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී දැවී ගියේය. ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යව තිබූ ලකුණු 05 වෙනුවට ඩේවිඩ් මිලර් හයේ පහරකින් ඉලක්කය සම්පූර්ණ කළේය. රාසි වැන්ඩර්’ඩසන් පන්දු 87 කදී නොදැවී ලකුණු 72 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. 

කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහර දීම තෝරාගත් නමුත් වියාන් මුල්ඩර් සහ මාකෝ යැන්සන් එක්ව එංගලන්ත ඉනිම විනාශ කළහ. දඟ පන්දු යවන කේෂව් මහරාජ් ලකුණු 35 කට කඩුලු දෙකක් දවා ගත් අතර මේ දිනවල එංලගන්ත පිතිකරු ලයිස්තුවේ වඩාත්ම විශ්වාසවන්ත පිතිකරුවා වී සිටින ජෝ රූට් ලකුණු 37 ක් ලබා ගත්තේය. රූට්ගේ පන්දු 44 ඉනිම හතරේ පහර 4 කින් සහ අලකාර හයේ පහරකින් සමන්විත වූවත්, ඔහුට සහයෝගය දීම සඳහා වෙනත් කිසිදු එංගලන්ත පිතිකරුවකු ඉදිරිපත් නොවීය. 

ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට යාම නිසා එංගලන්ත නායක ජොස් බට්ලර් සිය තනතුරෙන් ඉවත් වෙයි. 

දකුණු අප්‍රිකාවත් ක්‍රීඩා කළේ නිත්‍ය නායක ටෙම්බා බවුමා සහ ටෝනි ඩි සෝර්සි යන දෙදෙනාම නොමැතිවය. ඔවුන් දෙදෙනාම අසනීපව සිටි අතර, තාවකාලික නායක ඒඩන් මාක්රම්ට ද කලවයේ මාංශ පේශි ආබාධයක් හේතුවෙන් තරගය අතරමැද පිටියෙන් ඉවත් වීමට සිදුවිය. එහෙත් එයින් දකුණු අප්‍රිකානුවන්ට සිදුවූ පාඩුවක් නම් නැති. 


එංගලන්තය - ඕවර 38.2 කදී සියලු දෙනා දැවී 179 යි
(බෙන් ඩකට් 24, ජෝ රූට් 37, හැරී බෲක් 19, ජොස් බට්ලර් 21, ජැමී ඔවර්ටන් 11, ජොෆ්රා ආචර් 25, මාකෝ යැන්සන් 39/3, වියාන් මල්ඩර් 25/3, කේෂව් මහාරජ් 35/2)

දකුණු අප්‍රිකාව - ඕවර 29.1 කදී කඩුලු 3 ක් දැවී 181 යි
(රයාන් රික්ල්ටන් 27, රාසි වැන්ඩර් ඩසන් නොදැවී 72, හෙන්රික් ක්ලාසන් 64, ජෙෆ්රා ආචර් 55/2) 

- 213


අදහස් (0)

දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.