Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන පෙළේ තරගාවලිවල පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී හැමදාමත් ගෙල සිරකර ගන්නා දකුණු අප්‍රිකානුවෝ යළිත් වතාවක් අවසන් තරගය පෙනි පෙනී තරගාවලියෙන් ඉවතට විසිවී ගියහ. ලහෝර් නුවරදී අද (05 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 50 කින් පරාජය කළ නවසීලන්ත කණ්ඩායම ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිතිකරුවෝ දකුණු අප්‍රිකානුවන් වෙත ලකුණු 363 ක ඉලක්කයක් වීසි කළහ. එහෙත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඕවර 50 ක් නිමාවේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 312 කි.
අවසන් ඕවර තුනේදී ලකුණු 48 ක් ලබාගැනීමට සමත් වූ ඩේවිඩ් මිලර් අවසන් පන්දුවේදී සිය ශතකය සම්පූර්ණ කළේය. එහෙත් එයින් සිදුවූයේ දකුණු අප්‍රිකානුවන් ලද පරාජයේ පරතරය අඩුවීම මිස අනෙකක් නොවේ.
දකුණු අප්‍රිකානුවන්ගේ මෙම අභාග්‍ය සම්පන්න ඉරණම ආරම්භ වන්නේ 1992 ලෝක කුසලාන තරගාවලියේදීය. ඩක්වර්ත් ලුවිස් න්‍යායේ උපත සිදුවන්නේත් 1992 දී දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැති අවසන් පූර්ව තරගයේදී වර්ෂාවේ සරදමට ලක්ව දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය වීම හේතුවෙනි. කෙසේ වෙතත් ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කරමින් 1998 දී පැවැති විල්ස් කුසලාන තරගාවලියේ මුල්ම ජයග්‍රාහකයා වන්නේත් දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. දශක තුනකට වැඩි කාලයක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරගාවලි අතුරින් දකුණු අප්‍රිකානුවන් සතු එකම කුසලානය ද 1998 දී දිනාගත් විල්ස් කුසලානය පමණි.
කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු මිචෙල් සැන්ට්නර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ රාත්‍රියේදී පින්න සාධකයක් නොවනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.
ලුන්ගි න්ගිඩි ඉක්මනින්ම විල් යංග්ව දවාගත් නමුත් රචින් රවීන්ද්‍ර නවසීලන්තයට වේගවත් ආරම්භයක් අරන් දීමට පියවර ගත්තේය. රවීන්ද්‍ර ඔහුගේ පස්වන එක්දින ශතකය ලබාගත් අතර හිටපු නායක කේන් විලියම්සන් සමඟින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 154 කින් ලකුණු 164ක් එක් කළේය. තවමත් 25 හැවිරිදි රචින් රවීන්ද්‍ර මේ දක්වා එක්දින ශතක 5 ක් ලබා සිටින අතර ඒ ශතක පහම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරගාවලිවලදී ලබාගත් ඒවාය.
රචින් රවීන්ද්‍ර මෙන්ම කේන් විලියම්සන්වත් දවාගැනීමේ අවස්ථා දෙකක් මඟහැරීම දකුණු අප්‍රිකානුවන් වෙතින් සිදුවූ බලවත් වරදක් විය. රවීන්ද්‍ර ලකුණු 83 ක් ලබා සිටියදී ඔහුගෙන් ලැබුණු උඩපන්දුවක් අල්ලා ගත නොහැකි වූ කඩුලු රකින හෙන්රික් ක්ලාසන්ට එයින්ම ලැබුණු ස්ටම්ප් කිරීමේ අවස්ථාව හෝ ලබාගත නොහැකි විය. කේන් විලියම්සන් ලකුණු 56 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් වෙත පැන්න නමුත් ක්ලාසන්ගේ අතේ වැදුණු පන්දුව හතරේ සීමාවට ගියේ නවසීලන්තයේ රැවුල්කාරයට තවත් ලකුණු 04 ක් එකතු කරමිනි.
මේ දෙදෙනා එක්ව හතරේ පහර 23 කින් සහ හයේ පහර 3 කින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට සංග්‍රහ කළහ. විලියම්සන් සුපුරුදු පරිදි තමන්ටම ආවේණික වූ පිතිහරඹයක යෙදෙමින් ශතකයක් ලබාගත්තේය. එය විලියම්සන් දකුණු අප්‍රිකානුවන් හමුවේ පිටපිටම ලබාගත් තුන්වන එක්දින ශතකයයි.
අවසන් ඕවර 10 ගිනිකෙළි සංදර්ශනයක සිරි ගත්තේය.
40 වැනි ඕවරය නිමා වනවිටත් පුවරුවේ ලකුණු 252 ක් සටහන්ව තිබූ අතර නවසීලන්තය සතුව කඩුලු 7 ක් තිබිණ. එතැනින් වැඩ ඇල්ලූ ඩැරිල් මිචෙල් (49), ග්ලෙන් පිලිප්ස් (නොදැවී 49) සහ මයිකල් බ්‍රේස්වෙල් තිදෙනා, දකුණු අප්‍රිකානුවන්ගේ පන්දු 60 කින් ලකුණු 110 ක් උදුරා ගත්හ. 45 වැනි ඕවරයේදී ලකුණු 17 ක් ලබාගත් ග්ලෙන් පිලිප්ස් සහ මයිකල් බ්‍රේස්වෙල්, 46 වැනි ඕවරයේදී ලකුණු 18 ක් උදුරා ගත්හ.
ලුන්ගි න්ගිඩි (72/3) සහ කගීසෝ රබාඩා (70/2) එක්ව බිඳ වැටුණු කඩුලු 6 න් 5 ක් බෙදාගත් නමුත් පොදුවේ ගත් කළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සියලුම දෙනා දරුණු ප්‍රහාරයකට ලක්වූහ.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර ලබන ඉරිදා (9 වැනිදා) ඩුබායිහිදී පැවැත්වෙයි.
නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 6 ට 362 යි
(විලියම් යංග් 21, රචින් රවීන්ද්‍ර 108, කේන් විලියම්සන් 102, ඩැරල් මිචෙල් 49, ග්ලෙන් පිලිප්ස් නොදැවී 49, මයිකල් බ්‍රේස්වෙල් 16, ලුන්ගි න්ගිඩි 72/3, කගීසෝ රබාඩා 70/2)
දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 312 යි
(රයාන් රික්ල්ටන් 17, ටෙම්බා බවුමා 56, රාසි වැන්ඩර් ඩසන් 69, ඒඩ්න් මාක්රම් 31, ඩේවිඩ් මිලර් නොදැවී 100, කගීසෝ රබාඩා 16, මැතිව් හෙන්රි 43/2, මිචෙල් සෑන්ට්නර් 43/3, ග්ලෙන් පිලිප්ස් 27/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.