Last Update  :  2024-12-25 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාවට ලකුණු 109 ක ජයක්
ඛෙබාරා ටෙස්ට් තරගය

දකුණු අප්‍රිකාවට ලකුණු 109 ක ජයක්

editorial - 2024 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අසීරුතාවකින් තොරවම ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 238 කට සීමාකළ කේෂව් මහාරාජ් (76/5) ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඛෙබාරා (කලින් පෝර්ට් එළිසබෙත්) නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 109 ක ජයක් කරා තම කණ්ඩායම කැඳවාගෙන ගියහ. මෙම ජයත් සමගින් 2-0 ක් ලෙසින් තරගාවලිය ජයගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුමේ මුදුනටම නැග ගත්තේය. 

නවතම යාවත්කාලීන කිරීම් වලට අනුව ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු පුවරුවේ අංක 1 ස්ථානය දකුණු අප්‍රිකාවටත් (63.33%) අංක 2 ස්ථානය ඕස්ටේ්‍රලියාවටත් (60.71) හිමිවී ඇති අතර ශ්‍රී ලංකාව 45.45% ජයග්‍රාහී ප්‍රතිශතයක් සමගින් එහි සිව්වැනි ස්ථානයේ සිටී. 

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම දිග හැරුණේ ඕවර 69.1 ක් දක්වා පමණි. කේෂව් මහාරාජ් ශ්‍රී ලංකාවට  මහත්ම විනාශය කළ පන්දු යවන්නා විය. 

තරගයේ අවසන් දිනය වූ අද (09 වැනිදා) පෙරවරුවේදී කේෂව් මහාරාජ් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ කඩුලු 5 න් 4 ක් දවාගත් හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 5 ම අද පෙරවරුවේදී ලකුණු 19 ක් තුළ ඇද වැටිණ. මාකෝ යැන්සන් අද දිනයේ යැවූ එකම පන්දුවෙන් ඉතිරි කඩුල්ල දවාගත්තේය. 

අද උදෑසන තරගය ආරම්භ කරන විට කඩුලු 5 කට ලකුණු 205 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට තවත් ලකුණු 143 ක් අවශ්‍යව තිබිණ. ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් පිටියේ රැඳී සිටි බැවින් ඉලක්කය කරා යාමේ අසීරු අභියෝගයක් ශ්‍රී ලංකා පිලට තිබිණ. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 219 ක්ව තිබියදී අතිශය තීරණාත්මක උඩපන්දුවකින් කුසල් මෙන්ඩිස් දැවී ගියේය. 

උඩපන්දුව නිවැරදිව අල්ලා ගත්තේද නැද්ද යන්න තීරණය කිරීමේ අවස්ථාව තුන්වැනි විනිසුරුවරයා වෙත දුන් අතර ඔහුගේ තීන්දුව වූයේ එය නිදොස් උඩපන්දුවක් බවයි. කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අතර පැවැති ලකුණු 97 ක සම්බන්ධතාව බිඳී ගියේ එලෙසිනි. තවත් ලකුණු 06 කට  පසුව ධනංජය ද සිල්වා (50) දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු පෙනෙන්නට තිබූ තිරය සම්පූර්ණයෙන්ම වැසී ගියේය. 

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ බලාපොරොත්තු දියවෙමින් යයි. ලබන ජනවාරි මාසයේදී ඕස්ටේ්‍රලියානුවන්ට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ජයගත්තද ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතර තරගාවලියේදී තීරණය මත ශ්‍රී ලංකාවේ ස්ථානය රැඳී පවතිනු ඇත.


 

- 213


අදහස් (0)

දකුණු අප්‍රිකාවට ලකුණු 109 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.