Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු ආසියාවටම එකම රන් පදක්කමයි
පැරිස් ඔලිම්පික් - 2024

දකුණු ආසියාවටම එකම රන් පදක්කමයි

editorial - 2024 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට)

පැරිස්  නුවරදී ඉරිදා (11) සමාප්ත උත්සවයෙන් නිමා වන  33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකාව ඇතුළත් දකුණු  ආසියානු කලාපය අද (9) දිනය නිමා වන විට හිමි කර ගෙන තිබුණේ එක් රන් පදක්කමක් ඇතුළුව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් පමණි.

එහිදී  කලාපයටම එතෙක්  හිමිව  තිබූ රන් පදක්කම පාකිස්තානය විසින් දිනා ගැනීම සුවිශේෂීතම සිදු වීම විය.හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන්  නව ඔලිම්පික්  වාර්තාවක් පිහිටුවමින් පාකිස්තානයට පමණක් නොව දකුණු  ආසියාවටම කීර්තියක්  අත කර දුන් ඔහු 27 හැවිරිදි අර්ෂාඞ් නදීම්ය.

මීටර් 92.97 ක එහිදී විෂිස්ඨතම දක්ෂතාවයක් දැක්වූ පන්ජාබ් පළාතේ වැසියෙකු වන නදීම් දිනා ගත් රන් පදක්කම පාකිස්තානයේ  ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයට අළුත්ම පරිච්ඡේදයක් එක් කිරීමකි.ඔහු පාකිස්තානයේ  පළමු මලල ක්‍රීඩා රන් පදක්කම්ලාභියා වන අතර ක්‍රීඩා ඉසව්වකින්  මේ දක්වා පාකිස්තානය දිනා ගත් දෙවැනි ඔලිම්පික්  රන් පදක්කමයි.

1984 න්  පසුව පාකිස්තානය ඔලිම්පික්  රන් පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව අර්ෂාඞ් නදීම්  පැරිස් නුවරදී  උදා  කර දෙන අතර එය  පාකිස්තානය 1992 න් පසුව දිනා ගත් පළමු ඔලිම්පික් පදක්කම ලෙසත් වාර්තා  පොතට එක්වේ.

නදීම් රන් පදක්කම දිනා ගැනීමේදී කැපී පෙණුනු තවත් සිදුවීමක් නම් ඔහු හමුවේ ඉන්දියාවේ හෙල්ල විසි කිරීමේ ඔලිම්පික්  රන් පදක්කම්ලාභීයෙකු වන නිරාජ්  චොෆ්රා පරාජයට පත්වීමයි.ටෝකියෝ (2020) ඔලිම්පික් හෙල්ල  විසි කිරීම ඉසව්වේ රන් පදක්කම්ලාභියා වන චොෆ්රාගේ මෙවර දස්කම් රිදී  පදක්කමට (මීටර් 87.58) සීමා විය.

කෙසේවූවත්  පැවැති 2023 බුඩාපෙස්ට් ලෝක ශූරතාවලියේ චොෆ්රා රන් පදක්කම්ලාභීයා වන අතර නදීම්  රිදී පදක්කම්ලාභියාය.මෙම සියළු කාරණා හමුවේ පාකිස්තානයේ කෝටි 24 ක් වන ජනතාවට පැරිස් නුවරදී අති මහත් කීර්තියක් ගෙන ආ නදීම් හමුවේ මෙවර ඔලිම්පික් උළෙලේදී ඊයේ (9) වන විට පදක්කම් දිනා ගත් රටවල් 75 ක් අතර 53 වැනි ස්ථානයේ  පසු විය.

එය මෙවර ඔලිම්පික් උළෙලේදී පාකිස්තානය විසින් ඉන්දියාව අභිබවා ගිය අවස්ථාවක් විය.චොෆ්රා හිමි කර ගත් රිදී  පදක්කම හා ලෝකඩ පදක්කම් තුනකද සමග ඉන්දියාව පැරිස් ඔලිම්පික්  පදක්කම් සටහනේ පසු වූයේ 64 වැනි ස්ථානයයි.

කෙසේවූවත්  ඉන්දියාව  ක්‍රීඩා ඉසව් 16 ක් සදහා  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 කගේ කණ්ඩායමක් මෙවර සභභාගි කරන අතර පාකිස්තානු පැරිස් ඔලිම්පික්  කණ්ඩායම  ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුට සීමා විය.

නෝර්වේ ක්‍රීඩක ඇන්ඩ්‍රසේ තොර්කිල්ඞ්සන් (මීටර් 90.57) ගේ හෙල්ල  විසි කිරීමේ ඔලිම්පික් වාර්තාව මෙලෙස දකුණු ආසියාතිකයා හමුවේ බිද වැටුණි.දකුණු ආසියාවේ මේ දක්වා ඔලිම්පික්  රන් පදක්කම් දිනා ගත් රටවල් දෙකෙන් ඉන්දියාව රන් පදක්කම් 10 ක් හා පාකිස්තානය රන් පදක්කම් හතරක්ද දිනා ඇත.

දකුණු ආසියානු කලාපයේ ඇෆ්ගනිස්ථානය මේ දක්වා ඔලිම්පික්  ලෝකඩ පදක්කම් තුනක් හා ශ්‍රී  ලංකාව රිදී පදක්කම් දෙකක්ද දිනා තිබේ.කලාපයේ සෙසු රටවල් වන බංගලාදේශය, නේපාලය, භූතානය හා මාලදිවයින මේ දක්වා කිසිදු ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට සමත්ව නැත. 

පැරිස් ඔලිම්පික් උළෙලේ නිමාවට ළගාවෙමින් සිටියදී ඇමරිකාව හා චීනය අතර සමස්ත ජයග්‍රහනය දෝලනය වෙමින් පැවැතියේ  එක් රන් පදක්කමක  පරතරයකිනි.එහිදී එක්සත් ජනපදය ඊයේ දිනය නිමා වනවිට රන් පදක්කම් 32 ක්ද හා චීනය රන් පදක්කම් 31 ක්ද හිමි කර ගෙන තිබුණි.

සත්කාරක ප්‍රංශය ඒ වන විට රන් පදක්කම් 14 ක් දිනා පදක්කම් සටහනේ සිව් වැනි ස්ථානයේ පසු විය.


අදහස් (0)

දකුණු ආසියාවටම එකම රන් පදක්කමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.