Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඟ පන්දු යවන්නන්ට වැඩි බරක්

දඟ පන්දු යවන්නන්ට වැඩි බරක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 8 Comment
A A A

විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියට දින 117 ක් මෑතින් සිටිමින් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වි:20 තරග දෙකකට සූදානම් වන ශී‍්‍ර ලංකා කණ්ඩායම මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී හෙට පැවැත්වෙන විස්සයි/20 තරගයේදී දග පන්දුවෙන් සිය ප‍්‍රතිවාදීන් මෙල්ල කිරීමට සැරසෙයි.

ඒ සඳහා ශී‍්‍ර ලංකා නායකයා විශේෂඥ දග පන්දු යවන්නන් සිවු දෙනකුම කණ්ඩායමට එක්කරගෙන සිටින අතර තිලකරත්න ඩිල්ෂාන්ද සමගින් සංචිතයේ සිටින දග පන්දු යවන්නන්ගේ සංඛ්‍යාව 5 කි.


උප නායක ලසිත් මාලිංග සහ නුවන් කුලසේකරට අමතරව  ඕනෑම වි:20 තරගයකදී පිතිකරුවකු ලෙස කී‍්‍රඩා කිරීමේ හැකියාව ඇති තිසර පෙරේරාද සිටින බැවින් ඇන්ජලෝ මැතිව්ස්ද එක්වූ කල්හි ශී‍්‍ර ලංකා පිලේ සිටින වේග පන්දු යවන්නන්ගේ සංඛ්‍යාවත් 4 කි.


මෙවන් තත්ත්වයක් යටතේ හෙට පැවැත්වෙන තරගයේදී විශේෂඥ දග පන්දු යවන්නන් වශයෙන් සීකුගේ ප‍්‍රසන්න සහ අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට එක්වුවහොත් එය ශී‍්‍ර ලංකා පිලට ඉතාමත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර දෙනු ඇත.


විස්සයි/20 කි‍්‍රකට් පන්දු යවන්නන් අන්තර්ජාතිකව ශ්‍රේණිගත කිරීමේදී එහි මුල් 20 දෙනා අතර අජන්ත මෙන්ඩිස් (3), නුවන් කුලසේකර (8), ඇන්ජලෝ මැතිව්ස් (16) සහ ලසිත් මාලිංග (18) යන සිවු දෙනාම සිටිති. සීකුගේ ප‍්‍රසන්න ඔවුන් අතර නොසිටින නමුත් නවසීලන්ත පිතිකරුවන්ට අනපේක්‍ෂිත අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව සීක්කුට තිබේ.


කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායමද වෙනදාට වඩා වෙනස් වෙමින් නේතන් මැකලම්, ඇන්ටන් ඩෙව්සිච්, රොබ් නිකොල් වැනි විශ්වාසය තැබිය හැකි දග පන්දු යවන්නන් සමග තරගාවලියට පිවිස සිටී. විශේෂත්වය වන්නේ මෙම තිදෙනාගෙන් ඇන්ටන් ඩෙව්සිච් සහ රොබ් නිකොල් දෙදෙනාම ඉදිරිපෙළ පිතිකරුවන් වීමයි.


ශී‍්‍ර ලංකා පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පැවසුවේ මෙම තරගාවලිය සඳහා කණ්ඩායම තෝරාගනු ලැබ ඇත්තේ තවත් මාස තුන හමාරකින් පමණ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන බවයි.


”ශී‍්‍ර ලංකාවේ දග පන්දු යවන්නන් එකිනෙකාට වෙනස්. ඔවුන් කරන්නේ වෙනස්ම දේවල්. ඒ විතරක් නොවෙයි මෙතැන ඉන්න දග පන්දු යවන්නන් අතුරින් දෙදෙනෙකුට වේගයෙන් ලකුණු ලබාගන්නත් පුළුවන්”


”කෙහොම වුණත් දීර්ඝව කල්පනා කරලා බලන විට වේගයෙන් පන්දු යවන තුන් ඉරියව් කී‍්‍රඩකයන්ට වඩා දග පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් කී‍්‍රඩකයන් වඩාත් ප‍්‍රයෝජනවත් විය හැකි බව පෙනෙනවා” යයිද ග‍්‍රැහැම් ෆෝඞ් මහතා අද (18 වැනිදා) සවස පැවැති පුවත් පත් සාකච්ඡවේදී පැවසීය.


ෆෝඞ්  මහතාගේ ප‍්‍රකාශය අනුව රමිත් රඹුක්වැල්ලට අවස්ථාවක් ලැබීමේ ඉඩකඩද බැහැර කළ නොහැක්කේ මීලග ලෝක කුසලාන තරගාවලියට පෙර රඹුක්වැල්ලගේ පිත්තේ බලයද නිසි අයුරින් කිරා මැනගත යුතු බැවිනි. දග පන්දු යවන්නකු වශයෙන් කණ්ඩායමට එක්ව සිටින නමුත් වමතින් පිත්ත හසුරුවන රඹුක්වැල්ලට ඉතා පහසුවෙන්ම පන්දුව නරඹන්නන් අතරට යැවීමේ හැකියාවද තිබේ.


නායක දිනේෂ් චන්දිමාල් පවසන්නේ ලෝක කුසලාන තරගාවලියට පෙර තවත් කී‍්‍රඩා කිරීමට ඉතිරිව ඇත්තේ වි:20 තරග 6 ක් පමණක් බැවින් අත්හදා බැලීම් කිරීමට කාලයක් නැති බවයි.


”නායකයෙක් හැටියට මම බලන්නේ මීලග ලෝක කුසලාන තරගාවලියේදී මාත් එක්ක කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් 11 දෙනා කොයි වගේ අය වෙන්න  ඕනද කියන එකයි. ඔවුන් අතුරින් කවුරුන් හරි ආබාධයකට ලක්වුණොත් හරි ආදේශකයක් තියෙන්න  ඕනා” යයි දිනේෂ් චන්දිමාල් අද සවස පැවසීය.


මේ අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණය ආශි‍්‍රතව මේ දිනවල පවතින කාලගුණය ගැනද නවසීලන්ත කණ්ඩායම විශේෂ උනන්දුවක් දක්වයි.


”අපි නව කී‍්‍රඩාංගණයකට යන සෑම වෙලාවකම ඒ කී‍්‍රඩාංගණය අවට ඇති කාලගුණය පිළිබඳ විශේෂ විපරමක් කරනවා. ඒ නිසා තමයි අපි පසුගිය එක්දින තරගාවලියෙදී සෑම වෙලාවකම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේ”


”කොහොම වුණත් පින්න ගැනත් අපි විශාල අවධානයක් යොමු කරනවා. හවස පුහුණුවීම් කිරීමෙන් ඒ ගැනත් අවබෝධයක් ලබාගත හැකි වේවි” යයි නවසීලන්ත පිලේ නායක කයිල් මිල්ස් පැවසීය.


පල්ලෙකැළේ ප‍්‍රදේශයට ඊයේ සවස විශාල වර්ෂාවක් පතිත වූ අතර අද සවස් යාමයේත් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළිණ. උදෑසන තදින් හිරු එළිය ලැබෙන නමුත් සවස් භාගයේ ඇතිවිය හැකි වැසිබර කාලගුණයෙන් බලපෑමක් ඇතිවිය හැක්කේ තරගය රාතී‍්‍ර 7.00 ට ආරම්භ වන බැවිනි.


ප‍්‍රසාද ලකුණු 128 ක් සමගින් පසුගිය වි:20 ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වාම අඛණ්ඩව වි:20 කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 හිමිකරගෙන සිටින ශී‍්‍ර  ලංකා පිල එහි දෙවැනි ස්ථානය හිමි ඉන්දියාවට (123) වඩා ප‍්‍රසාද ලකුණු 5 ක් ඉදිරියෙන් සිටී. එහෙත් එහි පළමු කණ්ඩායම් 5 අතර ඇත්තේ අතිශය තියුණු තරගයකි.


ශී‍්‍ර ලංකාව මුල් ස්ථානයේ සිටියද ඉන්දියාව (123), දකුණු අපි‍්‍රකාව (123), පාකිස්තානය (120) සහ බටහිර ඉන්දීය කොදෙව් (120) යන කණ්ඩායම් එකිනෙකා පරයමින් ඉහළට යාමේ උත්සාහයක නිරතව සිටිති. එබැවින් මෙම තරගාවලියේදී අඩුතරමේ එක තරගයක් හෝ ජයගතහොත් ශී‍්‍ර ලංකාවට තමන්ගේ මුල් ස්ථානය රැකගත හැකිය.
 


ශී‍්‍ර ලංකා වි:20 සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලිංග (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, සීකුගේ ප‍්‍රසන්න, රමිත් රඹුක්වැල්ල, සුරංග ලක්මාල්, තිසර පෙරේරා සහ නුවන් කුලසේකර


නවසීලන්ත වි:20 සංචිතය
කයිල් මිල්ස් (නායක), මිචෙල් මැක්ලීන්හැන්, ටොම් ලේතම්, ග‍්‍රාන්ට් එළියට්, ඇන්ඩෲ එලිස්, නේතන් මැකලම්, ඇන්ටන් ඩෙව්සිච්, කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆර්ඞ්, රොබ් නිකොල්, ජේම්ස් නීෂාම්, ලූක් රොන්කි, ඇඩම් මිල්න් සහ නීල් බෲම්

 

විනිසුරුවරු:
රුචිර පල්ලියගුරු සහ රවීන්ද්‍ර විමලසිරි (ශී‍්‍ර ලංකාව)


අදහස් (8)

දඟ පන්දු යවන්නන්ට වැඩි බරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.