Last Update  :  2025-01-06 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දසුන් නායකත්වයෙන් ඉවතට
ලෝක කුසලාන ක්‍රිකට්

දසුන් නායකත්වයෙන් ඉවතට

editorial - 2023 සැප් මස 20 594 Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායක දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. මීළඟ ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ නායකයා වශයෙන් පළපුරුදු ආරම්භක පිතිකරුවකු හෝ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මැද පෙළ පිතිකරුවකු පත්කිරීම සම්බන්ධයෙන් ද තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ.

මේ අතර අද පෙවරුවේදී තේරීම් කමිටුව සමගින් පැවැති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් දසුන්ට දැනුම් දී ඇති බවත්, බොහෝ විට ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත් දැනගන්නට තිබේ.

පසුගිය ඉරිදා පැවැති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50 කට දැවී යාම හමුවේ දසුන්ගේ නායකත්වය දැඩි සේ විවේචනයට ලක්විය. එහෙත් වසර 2022 දී ඩුබායි හිදී ආසියානු කුසලාන (විස්සයි-20 තරගාවලියකි) දිනාගත් කණ්ඩායමේ නායකයා වූයේද දසුන් ශානකය.

මේ අතර වනිඳු හසරංගගේ ස්ථානය සම්බන්ධයෙන් ද තේරීම් කමිටු නිලධාරීහු මහත් වික්ෂිප්ත තත්ත්වයකට පත්ව තිබේ. ඔහුගේ ආබාධය සුව වෙමින් තිබියදී තවත් ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට වනිඳු ඇතුළත් කරන්නේද නැතහොත් ඔහුගේ ස්ථානය දුෂාන් හේමන්තට පිරිනමන්නේද යන්න පිළිබඳව තේරීම් කමිටු නිලධාරීන්ගේ සාකච්ඡාවට බඳුන් වී තිබේ.

ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් නම් නොකළ රටවල් අතුරින් තවමත් ඉතිරිව සිටින්නේ දකුණු ආසියානු රටවල් වන ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශයයි. කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියමය අනුව මේ මස 28 වැනිදාට පෙර ලෝක කුසලාන තරගාවලිය සඳහා වන කණ්ඩායම් නම්කළ යුතුව තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විශාල ගැටළුවක් නැත්තේ 30 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතය සඳහා මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන ඇති බැවිනි. එබැවින් ඕනෑම මොහොතක, මූලික සංචිතයේ සිටින ක්‍රීඩකයන්ගෙන් ජාතික කණ්ඩායම තෝරා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට යැවීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අඟහරුවාදා (26 වැනිදා) ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව යනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු තරග මේ මස 29 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, ඔක්තෝබර් 3 වැනිදා ඇෆ්ඝනිස්ථානයට එරෙහිවත් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටි නගරයේදී පැවැත්වේ.


අදහස් (0)

දසුන් නායකත්වයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.