Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දසුන් ශානක යළිත් හිස ඔසවයි

දසුන් ශානක යළිත් හිස ඔසවයි

editorial - 2023 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනය සංවිධානය කරන අන්තර් සමාජ මේජර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 50 ක් අවසන් වන විට වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන දසුන් ශානක සමත්ව සිටියි.  

2021 වසරේ ජූලි මාසයේ සිට මෙම වසරේ (2023) ඔක්තෝබර් මාසය දක්වා වසර දෙකහමාරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ දසුන්, මෙම වසර තුළදී පිතිකරුවකු ලෙස දැඩි පසුබෑමකට ලක්ව සිටියේය. 

ජනවාරි මාසයේ ඉන්දියාවට එරෙහිව ගුවහටි නුවර පැවැති තරගයකදී ශතකයක් ලබාගනිමින් මෙම වසර ආරම්භ කළ දසුන්ට ඉන් අනතුරුව ක්‍රීඩා කළ එක්දින තරග 23 ක ඉනිම් 19 කදී ලබාගත හැකි වූයේ ලකුණු 230 ක් පමණි. ඊට එක් අර්ධ ශතකයක්ද ඇතුළත් වූ අතර එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය සටහන් වූයේ 12.77 ක් ලෙසිනි. 

ආබාධ තත්ත්වයකට ලක්වීම හේතුවෙන් දසුන්ට ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 9 න් 7 කටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූ අතර දිගින් දිගටම පිතිකරුවකු ලෙස අසාර්ථක වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහුට එක්දින කණ්ඩායමේ නායකත්වයද අහිමිව ගියේය. 

කෙසේ වුවත් ලෝක කුසලාන තරගාවලිය නිමාවී දිවයිනට පැමිණීමෙන් අනතුරුව විවේක ගැනීම පසෙකලා සිය ක්‍රීඩා සමාජය වන එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමග එක්ව පළමු පෙළ මේජර් ලීග් තුන් දින තරගාවලියට ක්‍රීඩා කළ දසුන්, මේ වන විට මේජර් ලීග් එක්දින තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියි. 

මේ දක්වා එම තරගාවලියේ තරග 5 කට ක්‍රීඩා කළ දසුන් මහනුවර රේගු (නොදැවී 68), එන්.සී.සී. (නොදැවී 53), සහ බී.ආර්.සී. (76) කණ්ඩායම්වලට එරෙහිව ලබාගත් අර්ධ ශතක 3 ක්ද සමග තරග 5 කදී ලකුණු 252 ක් ලබා සිටියි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 84 ක් ලෙස සටහන් වන අතර ප්‍රහාරාත්මක වේගය 165.78 ක අගයක් ගනී. 

මේ වන විට තරගාවලියේ වැඩිම අර්ධ ශතක ලාභියා මෙන්ම වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (20 ක්) එල්ල කර ඇති ක්‍රීඩකයා වන්නේද දසුන්ය. බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග රැස්කළ ලකුණු 76, මේ දක්වා ඔහුගේ හොඳම ඉනිම බවට පත්ව තිබේ. 

කෙසේ වුවත් එම තරගවලදී පන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන යමක් කිරීමට දසුන් අපොහොසත්වී ඇති අතර බදුරලිය තරගයේදී ඔහු යැවූ ඕවර 10 තුළ ලකුණු 60 ක් රැස්කිරීමටද, එන්.සී.සී. තරගයේදී ඔහු යැවූ ඕවර 6 තුළ ලකුණු 52 ක් රැස්කිරීමටද ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්ව ඇත. තරග 5 දීම දසුන්ට දවාගත හැකිව ඇත්තේ කඩුලු 2 ක් පමණි. 

මෙම සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණය කර බැලීමේදී දසුන් යළිත් වරක් අංක 7 පිතිකරුවාගේ ස්ථානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටින බව පෙනී යයි. එහෙත් ඔහු කණ්ඩායමට එක්වන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස බැවින් සිය පන්දු යැවීම කෙරෙහි මීට වඩා ඔහු වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබේ. 

දසුන් නියෝජනය කරන එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට මෙවර මේජර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තවත් තරග 6 ක් ඉතිරිව ඇති අතර එහිදී ඔහුගේ දස්කම් කෙසේ වනු ඇත්දැයි අලුතින් පත්වූ ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්ම ක්‍රීඩා ලෝලීහූද නොඉවසිල්ලෙන් බලා සිටිති. 


අදහස් (4)

දසුන් ශානක යළිත් හිස ඔසවයි
  • M.k.dulani Saturday, 23 December 2023 04:26 PM

    නියමයි අපිට ගොඩක් සතුටුයි.

    Reply 0       0

    Asanka Sunday, 24 December 2023 07:18 PM

    පටිට සතුටුයි දස්සා...!

    Reply 0       0

    Praneeth geethanjana Sunday, 24 December 2023 09:08 AM

    බලන් ඉන්නවා දසුන් අයියෙ අපි... නමත් මතක් කරකර ඉන්නේ...!

    Reply 0       0

    YASINTHA Monday, 25 December 2023 09:25 PM

    දසුන් කන්ඩායමේ ඉන්න ඕනිමයි...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.