Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දැල්පන්දු පිලට තේ මණ්ඩලයේ අනුග්‍රහය

දැල්පන්දු පිලට තේ මණ්ඩලයේ අනුග්‍රහය

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

2018 ආසියානු දැල්පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට පූර්ණ අනුග්‍රහය දැක්වීමට ලංකා තේ මණ්ඩලය ඉදිරිපත් වී තිබේ.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඉකුත් දා ලැබූ ජයග්‍රහණයත් සමග ලබන 2019 වසරේ ජූලි 12 සිට 21 දක්වා එංගලන්තයේ ලිවර්පූල්හි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. එම තරගාවලිය ඉලක්ක කරගෙන පැවැත්වෙන පුහුණු කටයුතු සඳහා වන සියලු වියදම් වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය දැක්වීමට ලංකා තේ මණ්ඩලය තීරණය කර ඇත.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලි සඳහා මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග රටවල් 16ක් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ අනුග්‍රහය සඳහා රුපියල් මිලියන 5ක මුදලක් (ලක්ෂ 50 ක්) වැයකිරීමට ලංකා තේ මණ්ඩලය සූදානම් වී තිබේ. ශ්‍රී ලංකා තේ ආනයනකරුවන්ගේ සංගමයද ඊට දායකත්වය දරයි.

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා වැයවෙතැයි අපේක්ෂිත ඇස්තමේන්තු ඉක්මනින් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ටි්‍රක්සි නානායක්කාර මහත්මිය වෙත දැනුම් දුන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා දැල්පන්දු සංවර්ධන සැලැස්ම කඩිනමින් ලබාදෙන්නැයිද ඉල්ලීමක් කළේය.

ලංකා තේ මණ්ඩලය ක්‍රීඩාවක් වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වූ දෙවන අවස්ථාව මෙය වේ. මීට පෙර ක්‍රිකට් නිල අනුග්‍රාහකත්වය ලංකා තේ මණ්ඩලය විසින් දරන ලද අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 70කි.

ආසියානු දැල්පන්දු ශූරතාව වසර 11කට පසු යළි ශ්‍රී ලංකාවට හිමිකර දුන් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට උපහාර දැක්වීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා තේ මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී දැල්පන්දු කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වීමේ තොරතුරු අනාවරණය විය.

ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් ආසියාව හමුවේ අපරාජිතව හිමිකරගත් ජයග්‍රහණය අගය කළ නවීන් දිසානායක මහතා ආසියානු සංචාරයට පෙර රුපියල් ලක්ෂයකින් ඇරඹූ ලංකා තේ මණ්ඩල අනුග්‍රහය ලක්ෂ 50 දක්වා වැඩිකිරීමට තීරණය කළ බව පැවැසීය.

තවදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා තමන් මාස 08 ක් වැනි සුලු කාලයක් ක්‍රීඩා ඇමැති ධුරයේ දැරූ බවත්, එම වකවානුවේ දැල්පන්දු ක්‍රීඩාවේ පරිපාලනයේ සහ අභ්‍යන්තරයේ තිබූ සියලුම ප්‍රශ්න දැන සිටි බවත් පැවසීය.

 


අදහස් (0)

දැල්පන්දු පිලට තේ මණ්ඩලයේ අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.