Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ද සන්ඬේ ටයිම්ස් ඇසුරිනි)
තමාට එරෙහිව එල්ල වී ඇති තහනම් උත්තේජක ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ‘බී’ සාම්පලය පරීක්‍ෂා කිරීම අවශ්‍ය නැතැයි ටෙස්ට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ප්‍රකාශ කර තිබේ. එහි අනියම් ප්‍රතිඵලය වන්නේ ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනාව පිළිගැනීමකි.
2024 ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරඟාවලියේදී කරන ලද අහඹු පරීක්‍ෂණයක් අනුව නිරෝෂන් දික්වැල්ල ‘කොකේන්’ - තහනම් මත්ද්‍රව්‍යයකි - භාවිතාකර ඇති බවට තහවුරු විය. මෙම පරීක්‍ෂණය කරන ලද්දේ ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධනායතනය විසිනි.
පරීක්‍ෂණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගින් කිසිම ආකාරයක ක්‍රිකට් තරගයක් සඳහා සහභාගි වීමට නොහැකිවන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිරෝෂන් දික්වැල්ලට තහනමක් පනවන ලදි. මේ වන විට ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිගමන අවිනිශ්චිත තත්ත්වයක තිබේ.
ලෝක තහනම් උත්තේජක නිරෝධායතනයේ නීතිරීති යටතේ, තරගාවලියකින් පිටතදී කොකේන් භාවිතය වරදක් ලෙස නොසලකන නමුත්, අදාළ පරීක්ෂණය කළ වේලාව සහ තත්වයන් හේතුවෙන් දික්වැල්ලට ලැබිය හැකි දඬුවම බරපතල බව ඇතැම්හු පෙන්වා දෙති.
එල්.පී.එල්. තරගාවලිය පසුගිය ජූලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්විණ. එම තරගාවලියේදී ගාල්ල ‘මාවල්ස්’ පිලට නායකත්වය දුන් නිරෝෂන් දික්වැල්ල එහි අවසන් තරගය දක්වාම තම කණ්ඩායම කැඳවාගෙන ගියේය. එහෙත් අවසන් තරගයේදී යාපනය ‘කිංග්ස්’ කණ්ඩායම හමුවේ දික්වැල්ල නායකත්වය දැරූ ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 9 කින් පරාජය වූහ.
දික්වැල්ලට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (23 වැනිදා) විනය පරීක්‍ෂණයක් පැවැත්විණ. ජනාධිපති නීතිඥ උදිත ඈගලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනය කමිටුවට මහාචාර්ය රෝහිණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ වෛද්‍ය නිමල් හේරත් ගුණරත්න මහතාත් ඇතුළත් වූහ. ශ්‍රී ලංකා ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැති මෙම විනය පරීක්‍ෂණයට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධනායතනය වෙනුවෙන් නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතාද එක්විය.
දික්වැල්ලට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනාවන්හි බරපතළ ස්වභාවය නිසාම, වැරදි තොරතුරු සමාජගතවීම හෝ පරීක්‍ෂණ නොමඟ යාමෙන් වළක්වාගැනීම සඳහා, විනය පරීක්‍ෂණයේ සියලුම පියවර විනය කමිටුව විසින් පටිගත කරන ලදි.
විනය පරීක්‍ෂණයෙන් අනතුරුව අදාළ සිදුවීම් අළලා තමාගේ පාර්ශ්වයෙන් දිය හැකි කටඋත්තරය සම්බන්ධයෙන් සතියක් ඇතුළත ලිඛිත වාර්තාවක් සැපයීමට නිරෝෂන් දික්වැල්ල පොරොන්දු වී තිබේ. ඔහුගේ ලියමන මත විනය කමිටුවේ අවසන් වාර්තාව සකස් කෙරෙනු ඇත. කෙසේ වෙතත් ඔහුට ඉදිරිපත් වී තිබෙන චෝදනා බරපතළ බැවින්, ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා වසර 4 කවත් තහනමක් පැනවෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
විනය කඩකිරීම් සම්බන්ධයෙන් දැක්වැල්ලට ඇත්තේ බොහෝ අපකීර්තිමත් වාර්තාවකි.
වසර තුනකට ඉහත එංගලන්තයේ කළ සංචාරයකදී කොවිඞ්-19 ආරක්‍ෂණ නීතිරීති කඩකරමින් ක්‍රීඩකයන්ගේ ජෛව බුබුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් ද දික්වැල්ල දඬුවම් වින්දේය. කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනාත් එම චෝදනාවටම වැරදිකරුවෝ වූහ. මෙම චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩකයන් තිදෙනාටම වසරක ක්‍රිකට් තහනමක් පනවන ලද නමුත් අභියාචනා මත පසුව එය මාස 6 දක්වා අඩුකරන ලදි. එහෙත් දික්වැල්ල එයින් ද පාඩමක් ඉගෙන ගත් බවක් පෙනෙන්නට නැත.
ශ්‍රී ලංකාවේ අතිශය කීර්තිමත් පාසලක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද නිරෝෂන් දික්වැල්ල, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු වූ පසුවද එහි ගෞරවාන්විත තත්ත්වයට අනුගතවීමට අපොහොසත් විය. ටෙස්ට් තරග 54 කදීත්, එක්දින අන්තර්ජාතික තරග 55 කදීත් විස්සයි-20 අන්තර්ජාතික තරග 28 කදීත් ශ්‍රී ලංකාව නියෝජනය කළ දික්වැල්ලට මෙම ආකාර තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඉසිලීමේ පවා ඉතාම හොඳ අවස්ථාවක් තිබුණ නමුත් ඔහුගේ හිතුවක්කාරකම් හේතුවෙන් ඒ සියල්ල නැතිකර ගත්තේය.
දික්වැල්ලට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා වලින් ඔහුගේ ක්‍රිකට් දිවිය අවසන් වීමේ අවදානමක් මතුවී තිබෙනවාටත් වඩා බරපතළ කාරණාව වන්නේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වර්තමානයේ පවතින සංස්කෘතිය සම්බන්ධයෙන් බරපතළ ගැටළු පැන නැඟීමයි. එහි වඩාත්ම භයංකාර සේයාව වන්නේ දික්වැල්ල මුහුණ දුන් සිදුවීම ‘එක තනි සිදුවීමක්’ නොවන බවයි.
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ ආකාරයේ මත්ද්‍රව්‍ය ගැනීමට ඇබ්බැහි වී ඇත්ද යන්න වඩාත් සූක්‍ෂම අයුරුන් සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවී තිබේ. එවැනි පරීක්‍ෂණයකින් සාක්ෂාත් වන්නේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අවංකභාවය පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ ඉදිරි පරම්පරාවම, වැරදි ආදර්ශ හිස් මුදුනින් පිළිගැනීමට පෙර ඒ වෙනුවෙන් යමක් කළ යුතුව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.