Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිනනකොට අපි පරක්කු වැඩී - වනිඳු හසරංග
විස්සයි-20 ලෝක කුසලාන

දිනනකොට අපි පරක්කු වැඩී - වනිඳු හසරංග

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවී ගියත්, එම වටය යටතේ සහභාගි වූ අවසන් තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 83 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තර‍ගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග කියා සිටියේ ජයග්‍රාහී මාවතට අවතීර්ණ වන විට තමන් ඇතුළු කණ්ඩායම ප්‍රමාද වැඩි බවය.

“අපි දන්නවා අපේ කණ්ඩායම කොච්චර හොඳ කණ්ඩායමක්ද කියලා. ඒත් අවසනාවකට වගේ අපි බලාපොරොත්තු වුණු විදියට මුල් තරග දෙක ක්‍රීඩා කළේ නැ. මේ තරග‍ය ජයග්‍රහණය කරනකොට අපි පරක්කු වැඩී. නායකයා වගේම ක්‍රීඩකයෙක් හැටියටත් ගොඩක් කණගාටුයි ලෝක කුසලානෙකට ඇවිල්ලා මේ වගේ පළවෙනි වටෙන්ම එළියට යනකොට.” යැයි එහිදී වනිඳු පැවසීය.

පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවන් තත්වයකට මුහුණදීමට සිදුවූ බව පැවසූ වනිඳු, දිගින් දිගටම පන්දු යවන්නන් පැසසුමට ලක් කළේය. කෙසේ වුවත් බංග්ලාදේශ තරගයේදී ලකුණු 124 ක් රැකගැනීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පන්දු යවන්නන් වයිඩ් පන්දු 12 ක් යොමු කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟු පැනයක් හමුවේ වනිඳු නිරුත්තර විය.  

“අපිට ගොඩක් හොඳ පන්දු යවන්නො ඉන්නවා. එයාල හුඟක් අත්දැකීම් තියන අය. ඒ වගේම කණ්ඩායමෙන් එළියෙත් ඉන්නවා හොඳ වේග පන්දු යවන්නෝ වගේ දඟ පන්දු යවන්නෝ. ඒ නිසා පන්දු යැවීමේ බලෑණිය ගත්තොත් අපි හුඟක් උඩින් ඉන්නවා මේ තරගාවලියෙදි. ඒත් අපි දන්නවා අපේ පිතිහරඹය අපිට ඕන විදියට වු‍ණේ නෑ. ඒකයි අපිට මේ තරම් ඉක්මනට එළියට යන්න වුණේ.” යැයි වනිඳු සඳහන් කළේය.

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යමින් ලැබූ පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමාජ මධ්‍යයන් ඔස්සේ දැඩි විවේචනයට ලක්වූ අතර කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉලක්ක කරමින් ඇතැමුන් විවිද මඩ ප්‍රහාර සිදු කළ අයුරුද දැකගත හැකි විය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වනිඳු මෙසේ පැවසීය.

“ක්‍රීඩකයෝ විදියට අපි සමාජ මාධ්‍ය බලන්න හොඳ නෑ. අපි දන්නවා ලංකාවේ ප්‍රේක්ෂකයෝ ලෝක ඕනම තැනක ගියත් අපිට සහයෝගය දක්වනවා කියලා. ඉතින් ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයන්ට කිසිම වරදක් කියන්න බෑ සමාජ මාධ්‍යවල පලවෙන ‍දේවල් වලට. පිරිසක් උත්සාහ කරනවා සමාජ මාධ්‍ය හරහා අපිව ප්‍රේක්ෂකයන් එක්ක තරහා කරවන්න. ඒත් කණ්ඩායමක් විදියට අපි තරග ජයග්‍රහණය කරද්දි වගේම පරාජය වෙද්දිත් ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක ඉන්නවා කියලා අපි දන්නවා.”

“ඉතින් අපි වාසනාවන්තයි ඒ වගේ ප්‍රේක්ෂකයො ‍කොට්ටාසයක් අපේ රටේ ඉන්න එක ගැන. ක්‍රීඩකයො විදියට හරිම වටිනවා ඒ වගේ සහයෝගයක් ලැබෙන එක. විශේෂයෙන්ම අපි තරග පරාජය වෙනකොට. මොකද කණ්ඩායමක් විදියට අපි කවදාවත් පරාජය වෙන්න ක්‍රීඩා කරන්නෙ නෑ. අපි ක්‍රීඩා කරන්නෙ අපේ රට දිනවන්න. ප්‍රේක්ෂකයොත් ඒක දන්නවා. ඒකයි ඔවුන් අපිට මේ තරම් සහයෝගය දක්වන්නෙ.” යැයි වනිඳු කීය.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා යොදාගනු ලැබූ ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩාංගණවල තණතීරු සම්බන්ධයෙන් විවිධ මත පලවූ අතර නිව්යොක් නුවර නසාවු ක්‍රීඩාංගණයේ තණතීරු  සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට පවා අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගත්තේය. කෙසේ වුවත් වනිඳුගේ මතය වන්නේ තරග පරාජය වීමෙන් අනතුරුව තණතීරුවලට දොස් පවරා පළක් නැති බවය.

“තරගයක් පරාජය වුණාම අපිට තණතීරුවලටයි, විවිධ දේවල්වලටයි කතන්දර කියන්න පුළුවන්. ඒත් වෘත්තීයම ක්‍රීඩකයො විදියට ඒක ඇත්තටම හොඳ නැති දෙයක්. මොකද අනිත් රටේ ක්‍රීඩකයො ක්‍රීඩා කරන්නෙත් ඒ තණතීරුවේ. ඉතින් අපි දැනගන්න ඕන මොන විදියෙ තණතීරු තිබුණත් ඒවට අනුගත වෙන්න. ඒ වගකීම අපි භාරගන්න ඕන. ඒකයි අපි රටක් නියෝජනය කරලා මේ වගේ තරගාවලියකට එන්නෙ.”

“ඒ නිසා තණතීරුවලටත්, වෙන වෙන දේවල්වලටයි බැන බැන ඉන්නවට වඩා අපි අපේ ක්‍රීඩාව මීට වඩා දියුණු කරගත්තා නම්, ඒ තණතීරුවලට හැඩගැහිලා ක්‍රීඩා කළා නම් අපිට ජයග්‍රහණ ලබන්න තිබුණා. ඒත් අවසනාවකට වගේ අපි ඒක කළේ නෑ. ප්‍රාන්තෙකින් වෙන ප්‍රාන්තෙකට යද්දි තණතීරු වෙනස් වෙනවා කියන එක අපි දැනගෙන හිටියා. ඒත් ඒවට අනුව හැඩගැහෙන්න අපිට බැරි වුණා. ඒක තමයි මෙතන තිබුණු ලොකුම වැරැද්ද.” යැයිද වනිඳු වැඩිදුරටත් කියා සිටියේය.  


අදහස් (1)

දිනනකොට අපි පරක්කු වැඩී - වනිඳු හසරංග
  • pakeer Tuesday, 18 June 2024 09:17 PM

    නුඹලාගේ ක්‍රිකට් බලන්නෙත්, ඡන්දෙ දෙන්නෙත් එකම පල් හොරු ටික. ලංකාවේ ක්‍රිකට් නැති වුණේ 1999. ලංකාව නැතිවුණේ 1948..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.