Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිමුත් ටෙස්ට් පිටියෙන් සමුගනී
වෝන් - මුරලිදරන් කුසලාන

දිමුත් ටෙස්ට් පිටියෙන් සමුගනී

editorial - 2025 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් වන හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, එම තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (6 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය දිමුත්ගේ 100 වැනි ටෙස්ට් තරගය මෙන්ම අවසන් ටෙස්ට් තරගය ද වෙයි.

මේ  දක්වා ටෙස්ට් තරග 99 කට ක්‍රීඩා කර ඇති දිමුත් කරුණාරත්න, ඒවායේදී ලකුණු 7172 ක් ලබා තිබේ. ඔහු ලබාගත් ටෙස්ට් ශතක සංඛ්‍යාව 16 ක් වන අතර අර්ධ ශතක සංඛ්‍යාව 39 කි. 2019 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ දිමුත්, එක්දින තරග 50 කට ක්‍රීඩා කර තිබේ. ඔහුගේ අවසන් එක්දින තරගය ලෙසින් සටහන් වන්නේ 2023 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයයි.

අතිශය අභියෝගාත්මක මෙන්ම අසීරු කාලවකවානුවකදි (2019) ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායකත්වයට පත් දිමුත් කරුණාරත්න, සිය ප්‍රථම සංචාරයේදීම දකුණු අප්‍රිකාවට එරෙහිව 2-0 ක තරගාවලි ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේය. එම ජයග්‍රහණය, දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමක්, දකුණු අප්‍රිකාවේදීම පරාජය කරමින් ආසියානු කණ්ඩායමක් ලබාගත් මුල්ම සහ එකම ජයග්‍රහණයයි.

වසර 2021-2023 ටෙස්ට් ලෝක ශූරතාවලිය නිමාවීමෙන් පසුව එහි ඊළඟ කාර්තුව සඳහා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට පිරිනමමින් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට දිමුත් සූදානම් විය. එහෙත් තේරීම් කමිටු නිලධාරීන්ගේ ඉල්ලීම මත තවත් ටික කලක් ටෙස්ට් පිටියේ රැඳීසිටි දිමුත් වසර 2023 දී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වසරේ කණ්ඩායමටත් නම් කරන ලදි. එම වසරේදී දිමුත් ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 6 කට පමණක් වූවද, ඒවායේදී ලකුණු 608 ක් ලබාගත් දිමුත්ගේ ඉනිමක සාමාන්‍යය 60.80 ක් විය.

තම 100 වැනි තරගයේදී ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට පවසා තිබේ. එහෙත් තේරීම් කමිටු නිලධාරීහු එය රහසක් ලෙසින් තබාගෙන සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30 කදී නායකත්වය දුන් දිමුත්, ගාල්ල ටෙස්ට් තරගයෙන් පසුව, ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩාකළ හත්වැනි ශ්‍රී ලාංකිකයා වන අතර එකම ආරම්භක පිතිකරුවා ද වෙයි.


අදහස් (0)

දිමුත් ටෙස්ට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.